එච්.අයි.වී / ඒඩ්ස්…

මිනිසාට වැළඳෙන ලෙඩ රෝග අතර මහා තැති ගැන්මක් ඇති කරන වෙනත් රෝගයක් නොමැති තරම්. ඒ තරමට ම මේ රෝගය මිනිස් ප‍්‍රජාව තුළ පිළිකුලට, අවමානයට ලක් වෙලා.

ඇයි ඒ…

HIV බෝවන ක‍්‍රම කිහිපයක් ම අතරින්  95%-97% ක තරම් වැළඳීමේ ප‍්‍රතිශතයකට හේතු වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතායි.

අතොරක් නැති ආශාවන්ගෙන් වල්මත්ව කාමයන් පසුපසම දුවන වත්මන් ලෝකයට තම සීමාව කුමක් ද? හික්මිය යුත්තේ කොතැන ද? යන දේ ගැන ඇති හැඟීම ඉතා අල්පයි. කාමයන්ට ම සිත යටකරගත් ඔවුන්ගේ ජීවිත වසා ගන්නා අඳුර දකින්නේ වැරදුණ පසුවයි.

කම්සැපය තුළ ම ජීවිතය දකින එවන් පුහුදුන් සමාජයක් තුළ මිනිසා මෙවැනි අවාසනාවන්ත රෝගවලින් හෙම්බත් වෙද්දී බුදු සසුනේ පිහිට ලබන ගිහි ශ‍්‍රාවකයෙකු හට මහා කාරුණිකයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රේෂ්ඨ රැකවරණයක් තිබනවා. ඒ තිසරණ සහිත පංච ශීලය යි.

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි)

කුමක් ද මේ වැරදි කාම සේවනය……

”මව විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නැදෑයින් විසින් රකින, ගෝත‍්‍රය විසින් රකින, ධර්මය විසින් රකින ස්ත‍්‍රීන් ඉන්නවා. ඒ වගේම ස්වාමියා සිටින ස්ත‍්‍රීන් ඉන්නවා. විවාහ ගිවිසගත් ස්ත‍්‍රීන් ඉන්නවා. අඩු ගණනේ මල් මාලයක් දමා හෝ විවාහයට සම්මත කරපු ස්ත‍්‍රීන් ඉන්නවා. මම එබඳු ස්ත‍්‍රීන්ගේ චරිතය කෙලෙසන්නේ නෑ‘‘ මේ විදිහට ඔහු කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වෙයි. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකිලා ඉන්නවා.

මෙයින් දේශනා කරන්නේ පැහැදිලිව ම තම බිරිඳ නො ඉක්ම වූ ස්වාමි පුරුෂයෙක් හෝ තම ස්වාමියා නො ඉක්ම වූ බිරිඳක් අතර පවතින සම්බන්ධතාව හැර අනෙත් හැම ආකාරයක් ම වැරදි කාම සේවනයට අදාළ වන බවයි.

රාගයෙන් අන්ධ වූ විට අප ඉක්මවා යන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ගම්භීර සීලය යි. මහා නින්දාවකින් යටකොට දමන ඒඞ්ස් වැනි රෝගයන්ගෙන් මෙලොව දී ම විපාක ලබන්නේ සීලයේ පළුදු වීම නිසාමයි.

වැරදි කාම සේවනයේ භයානකම පැතිකඩ විවෘත වන්නේ පරලොව දී යි……

අපාය සංවත්තනික සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වැරදි කාම සේවනයේ විපාක මෙසේ වදාළ සේක.

”වැරදි කාමයෙහි හැසිරීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. පේ‍්‍රත ලෝකයෙහි උපතට හේතු වෙයි. වැරදි කාමයෙහි හැසීරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ සතුරන් සහිත වෛරයට හේතු වෙයි.”

ගෞතම බුදු සසුනේ නිවී සැනසුණුු ඉසිදාසි නම් රහත් තෙරණියගේ කතාවයි මේ.

ඇය ඉපදුනේ උදේනි නගරයේ සිටු පවුලක එක ම දියණිය විදිහටයි. ඉතාම රූමත් තැනැත්තියක වූ ඇය සතු වස්තුව නිසාම සාකේත නගරයේ සිටුවරයෙකු හා විවාහ වුණා. ඉන්පසු ඒ නැන්දාට, මාමාට බොහෝ කීකරුව, ඔවුන්ගේ වචනය ඉක්මවා නොයමින් ගෞරවයෙන් වාසය කළා. තම ස්වාමියාව රැකබලා ගත්තේ එක ම දරුවෙකු රකිනා අම්මා කෙනෙකු වගේ. ඒත් කිසිම වරදක් නැතුව ඒ සිටු පුත‍්‍රයාට ඇයව එපා වෙනවා. ඒ විවාහය එතැනින්ම කෙළවර වෙනවා. දෙවන වර ඇයව විවාහ කර දෙන්නේ අඩු ආදායමක් ඇති සිටු පුත‍්‍රයෙකුට. කොතරම් ස්වාමියාට කීකරුව වාසය කළත් ඒ විවාහයත් කෙටි කලකින්ම විසිරිලා යනවා. අවසානයේ ඇය සිඟන්නෙකු හා දීග යනවා. මේ සිටුකුමරියව විවාහ කරගත් සිඟන්නාට බොහෝ භෝග සම්පත් ලැබුණා. ඔහුට ද පෙර සේ ම උපස්ථාන කරත් පෙර පරිදිම විවාහය දෙදරා යනවා. තිදෙනෙකු සමඟම විවාහ වුුණත් බිරිඳක් ලෙස උපරිම යුතුකම් ඉෂ්ට කළත් අවාසනාවන්ත ලෙස විනාශ වී ගිය පවුල් ජීවිතය නිසා කළකිරුණු ඇය අවසානයේ පැවිදි වෙනවා. සම්බුදු සසුනේ පිළිවෙත් පුරා ති‍්‍රවිද්‍යා ලබා උතුම් අරහත්වය සාක්ෂාත් කරනවා. ආත්මභාව හතක් සිහි කිරීමට මේ රහත් භික්ෂුණීන් වහන්සේට හැකියාව තිබුණා. ගිහි ජීවිතයේ දී විවාහය මේ තරම් කඩාකප්පල් වෙන්න හේතුව විමසා බැලූවා.

මීට ආත්මභාව හතකට පෙර ඇය ඉපදී සිටියේ තරුණයෙක් ලෙස. රන්කරුවෙකු විදිහට ජීවිතය ගතකළ මේ තරුණයා බොහෝ කාන්තාවන් ඇසුරු කළා. තරුණ මදයෙන් මත් වී සිටි ඔහු වැරදි කාම සේවනයෙහි ම යෙදුණා.

මිනිස් ලෝකයේ ආයුෂ නිමවා චුත වූ ඔහු කෙළින් ම ඉපදුණේ නිරයේ. නිරයේ බොහෝ දුක් විඳ ඊළඟ ආත්මයේ උපන්නේ වැඳිරියකගේ කුසේ. ඉපදිලා දවස් හතකින් වඳුරු රැලේ නායකයා මේ වඳුරු පැටවාගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. ඒ පර ස්ත‍්‍රීන් සේවනය කිරීමෙහි කර්ම විපාකය විදිහට යි. වඳුරු ජීවිතයෙන් චුතව බූරුවෙක් වෙලා ඉපදුණා. ඒ ජීවිතයේ දී ඒ බූරු පැටවාගේ අණ්ඩකෝෂ තලා දැම්මා. එතන කුණු වී ඇති වූ තුවාලයෙන් ම ජීවිතක්ෂයට පත් වුණා. ඊළඟ ජීවිතයේ ඉපදෙන්න ලැබුණේ ගව දෙනකගේ කුසේ. ඒ ගවයාගෙත් අණ්ඩ කෝෂ තලා දැම්මා. බොහෝ වැඩ ගත්තා. අන්ධයෙක් වගේ පර ස්ත‍්‍රීන් සේවය කළ නිසා ලද විපාක……

ඉන්පසු දාසියකගේ කුසේ උපන්නා. ඒ ගැහැනියෙක් ලෙසවත්, පිරිමියෙකු ලෙසවත් නොව නපුංසකයෙකු ලෙසින්. අවුරුදු තිහක් ඒ විදිහට දුක් විඳිමින් ජීවත් වුණා. ඒ ජීවිතයෙන් චුතව ඉපදුනේ ගැල් බර ගෙනයන පවුලක ස්ත‍්‍රියක් වෙලා. එම පවුලේ ගැල් ණය ගෙවාගන්න බැරුව ඉන්නකොට ගැල් නායකයා ඇවිත් බලහත්කාරයෙන් ඇයව අරන් ගියා. ගැල් නායකයාගේ පුතෙක් ඇයව ඔහුගේ ගෙදරට රැගෙන ගියා. ඒ ගැල් නායකයාගේ පුතාට හිටියේ ගුණවත් බිරිඳක්. ඒ බිරිඳව කේලම් කියලා බිඳෙව්වා.
දාසියක් වගේ තම ස්වාමි පුරුෂයන්ට මේ තරම් උපස්ථාන කරද්දී සිටු කුමරියගේ විවාහ ජීවිතය අවාසනාවත්ත ලෙස කඩාකප්පල් වුණේ පෙර සසරේ කරගෙන ආපු කර්මයන්ගේ විපාක නිසාමයි.

මේ පේතවත්ථු පාළියේ උබ්බරී වර්ගයේ සඳහන් වන කතාවක්. කිම්බිලා නම් වූ නගරයක ශ‍්‍රද්ධාවන්ත උපාසයකයෙකුගේ බිරිඳක් ලෙස ජීවත් වූ ස්ත‍්‍රියක් තම ස්වාමිය ඉක්මවා ගියා. එසේ දුරාචාරයේ හැසිරෙනකොට ඒ ස්වාමියා ඇයට අවවාද කළා ඒ දේ නවත්වන්න කියලා. එවිට ඒ ස්ත‍්‍රිය දිවුරලා කිව්වා සිතින්වත්, කයින්වත් ඔයාව ඉක්මවලා ගියේ නැහැ කියලා. එහෙම ඉක්මවා ගියානම් මුඩු කන් ඇති බල්ලෙක් මගේ ඇඟ පසඟ කාපුවාවේ කියලා දිව්රුවා. ඒ දුරාචාරයේ කර්ම විපාකයත්, බොරුවට දිවුරපු කර්ම විපාකයත් නිසා ම පේ‍්‍රතියක් වී ඉපදුණු ඇයට අත්වුණේ මහා දුක්ඛදායී ඉරණමක්….

මැදියම් රාත‍්‍රියේ දී එක්තරා පොකුණක් ළඟට යන ඇය වෙත පැමිණෙන මුඩුකන් ඇති බල්ලෙක් සියලු අඟ පසඟ කාලා දානවා. ඇඟේ ඉතිරි වෙන්නේ ඇටසැකිල්ල විතරයි. ඒ ඇටසැකිල්ල පොකුණට බහිනවා. එවිට නැවත යථා තත්ත්වය ඇඟ සකස් වෙනවා. මේ වගේ අවුරුදු හත්සියයක් මුළුල්ලේ ම මේ කාන්තාව දුක් විඳිනවා.

පින්වතුනි, අපි දකින, දැනෙන දුර්විපාක ඉතා සීමිතයි. වැරදි කාම සේවනයේ අනිටු විපාක ලෙස එච්.අයි.වී/ඒඩ්ස් වැනි සමාජ රෝගවලට බඳුන් වීම, සාමාජයේ පිළිකුලට භාජනය වීම, පවුල් කඩාකප්පල් වීම වැනි ලෞකික විපාක මෙරතම් භයානක නම් සංසාරය පුරා නොයෙක් දුක්ඛිත ඉරණම්වලට භාජනය වෙමින් යන ගමන කොතරම් ඛේදනීය ද? එවන් අකුසලයක් සිදු කිරීමට තමාගේ සිතත් නැමේ නම් ඔබ සිහි කළ යුත්තේ මේ කර්ම විපාක ම යි.

ගෞතම බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනාකොට වදාළ සීලයේ හික්මීමෙන් මෙලොව පරලොව යහපත් කර ගැනීමට අපිත් තිර අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

By | 2017-02-01T15:05:25+00:00 December 1st, 2016|Comments Off on AIDS DAY

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.