නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 28

කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි..?
කොපමණ ධාර්මිකව හිටියත් අපිට ප්‍රශ්න නේ… එහෙම හිතන අය අතර ඔබත් සිටිනවාද…? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙවර දහම් මාර්ගයෙන් පෙන්වා දෙන්නේ එම ප්‍රශ්නය සඳහා පිළිතුරකි.

ස්වාමීන් වහන්ස… අද ගිහියන් බොහෝ දෙනා දන් පින් සහ ප්‍රතිපත්ති පිරීම සඳහා පන්සලට පැමිණෙන අතරේ කිහිප දෙනෙකු ආගම දහමට වඩා සිත යොමුකර තිබෙන්නේ, භික්ෂූන් වහන්සේලාගේ ශීලවන්තභාවය සෙවීම, ධර්මය සම්බන්ධයෙන් පොත්පත්වල ඇති සහ ස්වාමීන්වහන්සේලා දේශනා කරන ලද විවිධ මතිමතාන්තර සාකච්ඡා කිරීම ආදී ඕපාදූප කටයුතු සඳහායි… යම් අයෙකුට මෙය පරිපූර්ණ ශාසනයක් සොයනවා හෝ ශුද්ධවන්තභාවය සොයනවා ලෙස වර්ගීකරණය කරන්නත් පුළුවන්… මෙවැනි ක්‍රියා පිළිබඳව ධර්මයේ සඳහන් වන්නේ කොහොමද…?

මෙය ශාසන පරිහානි කාරණයක්. ගිහියන් සිදුරු සොයන අදහසින් ධර්මය හෝ සංඝයා ඇසුරු කරන්නේ නම් එය පරිහානිය සඳහා හේතු වන බව ධර්මයේ සඳහන් වෙනවා. මෙවැනි ක්‍රියා සඳහා නිතර යොමුවන්නේ සිල්වත් පිරිසක් නෙමෙයි… දුශ්ශීල පිරිස්… භික්ෂූන්ට මඩගසාගෙන යන්නේ දුශ්ශීල පිරිස් ම යි. භික්ෂූන් විසින් තවත් භික්ෂූන්ට මඩ ගැසීම සඳහා භාවිත කරන්නෙත් මෙවැනි දුශ්ශීල පිරිස් ම යි. ශීලවන්ත පිරිස් මඩ ගසන්නේ නැහැ. සිල්වත් භික්ෂූන් සිල්වත් භික්ෂූන්ට මඩ ගසන්නෙත් නැහැ. සිල්වත් ගිහියන් සිල්වත් භික්ෂූන්ට මඩ ගසන්නෙත් නැහැ. කොටින් ම සිල්වත් ගිහියන් දුසිල්වත් භික්ෂූන්ට මඩ ගසන්නෙත් නැහැ. මේ මඩ ගැසීමේ ව්‍යාපෘතියේ සිටින්නේ, ආධ්‍යාත්මික සෝදා පාළුවට ලක්වූ පිරිස… මේ පිරිස ව්‍යංජනඃඡායාවේ නවතිනවා. ඒ කියන්නේ ව්‍යංජනය ගන්නෙත් නැහැ, අර්ථය ගන්නෙත් නැහැ… ව්‍යංජනයෙන් සතින්ද්‍රිය උපදිනවා. අර්ථයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය උපදිනවා. සතින්ද්‍රියයි ප්‍රඥාඉන්ද්‍රියයි දෙක මාර්ගාංග දෙකක්. ඒ මාර්ගාංග දෙක විරහිත අය ව්‍යංජනඃඡායාවේ නවතිනවා. ඒ කියන්නේ, ඔය කුමක් හෝ බණ පදයක කෑල්ලක් අල්ල ගන්නවා. ඒ වචනයක් හෝ කොටසක් අල්ලගෙන, ඒක තමන්ගේ අරමුණ පිණිස පාවිච්චි කරනවා. ඒකට කියන්නේ ව්‍යංජනඃඡායාව අල්ල ගන්නවා කියලයි.

සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට හෝ ශීලවන්ත පුද්ගලයකුට හෝ තමන්ගේ පෙර සසරේ සිදු කරන ලද අකුසල කර්මයක් නිසා, මේ භවයේදී නින්දා අපහාස විඳින්න පුළුවන්. මඩ ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ශීලවන්තයාට කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. “මම මේ තරම් සිල් රැකලත්, පිං කරලත් විඳින්නේ අපහාස ම නේ..” කියලා හිතෙන්න පුළුවන්. මේක දරා ගන්නේ කොහොමද…?

මේක ලෝක ධර්මයක් විදිහට හඳුනා ගන්න ඕනේ. මේ ලෝකේ උපන් ඕනෑම කෙනකුට අෂ්ට ලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රහාර එනකොට, ඒක තමන්ට පමණක් ලැබෙන එකක් ද, ලෝකයේ අන් අයට එවැනි නින්දා අපහාස ලැබෙන්නේ නැද්ද, යනාදී වශයෙන් ඒ ගැන කල්පනා කරලා බලන්න ඕනේ. ලෝකයේ වෙන කිසිවකුට නොලැබී තමාට පමණක් ම නින්දා, අපහාස, ගැරහුම් ආදිය ලැබෙනවා නම්, ඒක කම්පාවට පත්වෙන්න කාරණාවක්… ඒ කියන්නේ ඒක ලෝක ධර්මයට අයිති නැති එකක්. නමුත් අපිට පෙනෙනවා, ඒක එහෙම නෙමෙයි කියලා. මේ රට වෙනුවෙන් විශාල ම සේවයක් කරපු දුටුගැමුණු රජතුමාටත් මිනිස්සු ගරහනවා… රුවන්වැලිසෑයටත් ගරහනවා…. භාග්‍යවතුන් වහන්සේටත් ගරහනවා… සිංහල ජාතිය බේරා ගත්තු, රට බේරා ගත්තු අයත් ගැරහුම් ලබනවා. ඒකෙ කර්මානුරූප බලපෑමක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඒක ලෝක ධර්මයක්… මේ ලෝකේ ඉපදුණු කෙනකුට ලෝක ධර්මයෙන් මිදිලා ඉන්නට බැහැ… ඒ ගැන සිතා ප්‍රඥාවන්තයා තමන්ට එල්ලවෙන නින්දා, අපහාස, ගැරහුම් දෙස බලන්න ඕනේ…

ස්වාමීන් වහන්ස… තමන් කැපවීමෙන් සිල් රැකලා. දන් පින් කරලත් මෙසේ නින්දා අපහාස එල්ල වෙන කොට, ශීලවන්තයාට හිතෙන දෙයක් තමයි – මට දෙවියෝවත් බලන්නේ නැද්ද…? කියන එක…

ඔය ප්‍රශ්නයට මම හොඳ උපමා කතාවක් කියන්නම්… නින්දා අපහාස එනකොට සාමාන්‍ය මනුෂ්‍යයා කඩාගෙන වැටෙනවා. මේ ලෝකයේ චරිත දෙකක් ධර්මය ආශ්‍රයෙන් කියන්න පුළුවන්. සත්පුරුෂයා සහ අසත්පුරුෂයා කියන්නේ ඒ ප්‍රධාන චරිත දෙක. ඒ වගේම සමහර චරිත තියෙනවා, අභ්‍යන්තර වශයෙන් කරුණු සොයන, ඒ චරිතයට අපට කියන්න පුළුවන් අරටුව සහිත චරිත කියලා… තව චරිත තියෙනවා, අභ්‍යන්තර වශයෙන් කරුණු සෙවීමට අසමත්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා පමණක් සාරය කරගෙන ඉන්න. ඒ අයට කියන්න පුළුවන් අරටු රහිත චරිත. අරටුව සහිත චරිතය බුරුත ගස් වගේ… ඒ කියන්නේ අරටුව සහිත ගස් වගේ. ලාභ සත්කාර විතරක් සොයාගෙන යන අරටු රහිත චරිතය, කෙසෙල් ගස් වගේ. කෙසෙල් ගහත් ලොකුවට මහතට හැදෙනවා. කවුරු හරි කෙහෙල් ගහ දැක්කහම හිතන්න පුළුවන්, මේකත් අරටු සහිත ගහක් කියලා. හැබැයි ඒ ගහට යම් කෙනෙක් යකඩ ඉන්නකින් ඇන්නොත් ඒ ගහේ, ගොබය පසාරු කරගෙන යනවා. ඒ ගහේ පැවැත්ම එතැනින් ඉවරයි. ඒ යකඩයෙන් ම බුරුත ගහට විදිනවා. මතුපිටින් ගහ තුවාල වෙයි. ඒත් ඒක ක්‍රමක්‍රමයෙන් ප්‍රකෘති වෙනවා. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලින් එහා දෙයක් තමයි, අවබෝධය කියන්නේ. අවබෝධයක් බලාපොරොත්තුවෙන් නම් යම් කෙනෙක් ඉන්නේ, එක්කෝ දහම් මගේ යෑමක්, චතුරාර්ය සත්‍ය අවබෝධයක්, සුගති රැකවරණයක්, බුද්ධ ශාසනයේ පිළිසරණක් බලාපොරොත්තු වෙලා නම් ඉන්නේ, ඒ පිළිසරණ නමැති බලාපොරොත්තුවට ඒ ප්‍රහාර වදින්නේ නැහැ. ඒ සියල්ල වදින්නේ බාහිරට. කෙහෙල් ගහ වගේ කෙනාට, ඒ සියල්ල සම්පූර්ණයෙන් ම වදිනවා. එයාගේ පැවැත්ම එතැනින් ම අවසන් වෙනවා. ඊට පස්සේ එයා, ඒකට ම ආඩපාලි කිය කියා, ඒකට ම ප්‍රතිචාර දක්වා, ඒ මත්තෙම නැහෙනවා. – “මට අසවලා මෙහෙම කිව්වා…” කිය කියා ඒක මත්තෙම නහිනවා. නොනවත්වා කැලෑ පත්තර ගහන්නේ එහෙම අය තමයි. අරටු රහිත චරිත තමයි, එහෙම කරන්නේ… ධර්මය තමයි හොඳ ම අරටුව… එහෙම අරටුවක් තියෙන කෙනාට ඔය නින්දා අපහාස ඉවසන්න පුළුවන්… ඒවා වදින්නේ නැහැ. ඒවායෙන් හානි කරන්න බැහැ.

රහතන් වහන්සේලා ඝාතනය වෙලා තියෙනවා කියලා, ධර්මයේ සඳහන් වෙනවා. වළගම්බා රජතුමාගේ කාලයේ ආපු දෙමළ ප්‍රශ්නය නිසා රහතුන් වහන්සේලා ඝාතනයට ලක්වෙලා තියෙනවා. ඊළඟට, මහසෙන් රජතුමාගේ කාලයේ සඟමිත් නමැති චෝලවංශික චීවරධාරියෙක් ඇවිල්ලා, මන්ත්‍ර බලය පාවිච්චි කරලා, රජතුමා වසඟ කරගෙන මහා විහාරය හාලා, උදු වපුරලා, ඒ බඩුමුට්ටු අරගෙන ගිහිල්ලා අභයගිරිය දියුණු කරලා, විශාල විනාශයක් කළා. ඒ කාලයේ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාත දානයක් දුන්නොත් කහවනු සියයක දඩයක් නියම කළා. ඒ වගේ නොයෙක් උපද්‍රවවලට බඳුන් වුණා. ඊළඟට බැමිණිතියා සායේදී දානය නොමැතිව, දොළොස්දහසක් රහතුන් වහන්සේලා තිස්සමහාරාමයෙන් වඩිනවා. තව දොළොස්දහසක් රහතන් වහන්සේලා සිතුල්පව්වෙන් වඩිනවා. මේ සියලු රහතන් වහන්සේලා ම ගම්භීර නදිය ආසන්නයේදී පරිනිවන් පාලා තියෙනවා. ඒවගේ උපද්‍රවවලට රහතුන් වහන්සේලා පවා මුහුණපාලා තියෙනවා. ඒ සියල්ල අයිති අෂ්ට ලෝක ධර්මයටයි. නමුත් උන් වහන්සේලාගේ ජීවිත අරටුවට කිසි හානියක් වුණේ නැහැ. ඒ වගේම තිසරණය මනා කොට පිහිටන කෙනාගෙත් අභ්‍යන්තරයට කිසි හානියක් වුණේ නැහැ. මෙම කුණු ශරීරයේ පැවැත්මට හානියක් වෙයි. ඒ වුණාට අභ්‍යන්තරයට කිසි හානියක් වෙන්නේ නැහැ.

දිගින් දිගටම මෙවැනි කරදර, උපද්‍රව එනකොට, සිල්වත් පුද්ගලයා ඒ සඳහා මුහුණ දිය යුතු ක්‍රමය, ඔබ වහන්සේ අපට ධර්මයෙන් පැහැදිලි කරලා දෙනවා නම් මැනවි…

බුද්ධ දේශනාව අනුව මේ සඳහා තියෙන ප්‍රධාන ම දෙය තමයි, ඉවසීම. ඉවසීමෙන් තොරව මෙත් සිත වඩන්න ක්‍රමයක් නැහැ. නිරපරාදේ ඉන්න කෙනකුට නින්දා අපහාස එනකොට එයා, ඉවසීම පුරුදු කරලා නැත්නම්, එයාට මෛත්‍රිය වඩන්න බැහැ. මෙත් සිත වැඩීම තියෙන්නේ ඉවසීමත් සමඟ. ඉවසීමෙන් තොරව මෙත් සිත වැඩීමක් නැහැ. කාවන්තිස්ස රජතුමාගේ කාලයේ යෝධයෙක් හිටියා. එක දවසක් රජතුමා ඇළක් ශුද්ධ කර කර ඉන්න කොට, මේ යෝධයා අත් දෙක බැඳගෙන ඉන්නවා. මේක දැකපු රජතුමා – “අත්දෙක බැඳගෙන ඉන්නේ, ඇවිල්ලා මේක ශුද්ධ කරපං…” කියලා යෝධයාට කියනවා. “මම ඔය ස්ත්‍රීන්ගේ වැඩ කරන්නේ නැහැ… පුරුෂයෙක් වැඩක් දුන්නොත් මම කරන්නම්” කියලා යෝධයා උත්තර දෙනවා. එහෙම කියන්නේ රජතුමාට. රජතුමා ඉවසනවා.

රජතුමා යෝධයාට දවසක් කියනවා “එහෙනම් උඹ, මේ වැඬේ කරපං… එළාරගේ අඩවියේ අපේ බ්‍රාහ්මණයෙක් ඉන්නවා. උඹ ගිහින් මේ පණිවිඩය දීලා, තෑගි භෝග වගයක් දෙයි… අරන් වරෙන්” කියනවා. මේ යෝධයා උදෙන් මාගමින් පිටත්වෙලා, තිසා වැවෙන් නාලා, මල් නෙළාගෙන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳලා, ථූපාරාමය වැඳලා, එහෙට ගිහිල්ලා, බතුත් කාලා, හවස් වෙද්දී ආයෙත් රුහුණටත් එනවා. එදා කාවන්තිස්ස රජතුමා කිපිලා, ඒ යෝධයාට හානි කරා නම්. ඒ දක්ෂයා නැති වෙනවා. ඉවසීම නමැති දේ රජවරුත් පුරුදු කළා. දුටුගැමුණු රජතුමා එක බලකොටුවක් ජයගත්තේ, අපූරු විදිහකට. ඒ කඳවුර භාර සෙන්පතියා පෙම් බැඳගෙන හිටියේ විහාරමහා දේවියට. රජතුමා, උපායිකව කැමති වුණා, සිය මෑණියන් වූ විහාරමහා දේවිය ඔහුට දෙන්නට. ඒක උපායක්… උපායක් පවත්වාගෙන යන්න බැහැ, ඉවසීම නැති නම්. ඒ නිසා මේ සෑම තැනකදීම ඉවසීම වැදගත්.

ස්වාමීන් වහන්ස… සමහර වෙලාවට මේ අසත්‍ය චෝදනා, මඩ ප්‍රහාර ජය ගන්නා බව පෙනෙනවා. සත්‍යවාදියා කොන්වෙන්න ගන්නවා. සමහර සත්‍යයන් එළිවෙන්නේ සත්‍යවාදියාගේ මරණයෙන් පස්සේ…

ලෝකයේ ජයගන්නේ බලවත්ව තියෙන්නේ යමක් ද, එයයි ජයගන්නේ. ඒකයි එයට හේතුව. ‘සත්‍යමේව ජයතේ’ කියලා හින්දු ආගමේ කියමනක් තියෙනවා. ඒක බුදු දහමේ එන එකක් නෙමෙයි. බුදු දහම දේශනා කරන්නේ ලෝකයේ බලවත්ව තියෙන දේ ජයගන්නවා කියන එකයි. දුශ්ශීල කෙනෙක් ඉන්නවා, එයා ළඟ බලවත් වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරය. ඒ නිසා එයා දුශ්ශීල වෙලා තියෙන්නේ… එයා බලවත් කරන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය ප්‍රබල වෙච්ච දවසට එයාගේ දුශ්ශීල බව දුරුවෙනවා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම කියලා ධර්ම මාර්ගයේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් පළමුවැනි ධර්ම සංගායනාව කරන්න මුල් වුණේ, පුංචි සිද්ධියක්. ඒ තමයි සුභද්‍රගේ අභද්‍ර වචනය. අනාගතයේ අධර්මය බලවත් වෙන්න කලින්, ධර්මය දුර්වල වෙන්න කලින් මේ ධර්මය සංගායනා කරන්න ඕනේ කියලා, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කළා. ඒ නිසා ධර්මය ප්‍රබල වෙලා තියෙන වෙලාවක තමයි, සංගායනා කළේ. ධර්මය සත්‍යයක්… නමුත් සත්‍යය දුර්වල නම්, අසත්‍යය බලවත් නම් අර දුර්වල වූ සත්‍යය දේ මැඬගෙන අසත්‍ය අධර්මය බලවත් වෙනවා. සත්‍ය ජයගන්න නම්, එය කෙනකුගේ ජීවිතය තුළ බලසම්පන්නව තියෙන්න ඕනේ. දෙවි කෙනෙක් විසින් මනුෂ්‍යයකුට උදව් කරන්න නම්, ඒ මනුෂ්‍යා තුළ, යම් දෙයක් ක්‍රියාත්මක වෙලා බලවත් වෙලා තියෙන්න ඕනේ. ඒ මනුෂ්‍යයා තුළ ශීලයේ සහ තිසරණයේ බලය පිහිටලා තියෙන්න ඕනේ. යම් සත්‍ය ක්‍රියාවක් හෝ කරන්න නම් ඔහු තුළ පංච ශීලය බලවත් ලෙස තිබිය යුතුයි. තමන්ගේ ප්‍රතිපත්තිය බලවත් වෙච්ච දවසට තමයි එකේ සත්‍යය තියෙන්නේ.

දැන් මේ රටේ බලවත් වෙලා තියෙන්නේ අධර්මයනේ… බලවත් චරිත දිහා බැලුවත් ඒ අය අධික කාමයට ලොල් වෙලා, තමන්ගේ අනාගතය, රටේ අනාගතය ගැන නොහිතා කටයුතු කරනවා. සුද්දෝ කළෙත් ඒකනේ… බොන්නේ නැති ජනතාවක් බීමට පෙළඹෙව්වා. දුම් පානය කරන්නේ නැති ජනතාවක් බීමට පෙළඹෙව්වා. කාමාශක්ත නොවූ ජනතාවක් කාමයට පෙළඹෙව්වා. මේ රටේ ජනතාවගේ පාරම්පරිකව තිබුණු, අභ්‍යන්තර බලසම්පන්න ගුණ ඔක්කොම නැති කළා. එහෙම කරලා, මේ ජාතිය දුර්වල කළා. යමක් සත්‍යවාදී වෙච්ච තරමින් ජයගන්නේ නැහැ. ඒ සඳහා බලයක් තිබෙන්නට ඕනේ.

ඔබ වහන්සේ දේශනා කරන පරිදි මේ ධර්මය බලවත් නොවූ කාලයක්. එහෙම නම් ධර්මය බලවත් කිරීම සඳහා අප විසින් කළ යුත්තේ කුමක්ද…?

ප්‍රතිපදාව ප්‍රබල කර ගන්න ඕනේ. ප්‍රතිපදාවෙන් තොරව බලවත් කරන්න ධර්මයක් නැහැ. ධර්මය බලවත් කරන්න ඉවසීම බලවත් කරන්න ඕනේ. ඊළඟට මෙත් සිත. බලවත් කරන්න ඕනේ කායික බලය නෙමෙයි. නින්දා අපහාස රැලි වරින් වර මට විරුද්ධව නැගිලා එනවා. ගැරහිලි, චෝදනා වගේ දේවල් නැගිලා වරින් වර එනවා. එහෙම රැලි ආවට, ඒ ඉදිරියේ මගේ ඉවසීම බලවත්. ඒ දේවල්වලට වඩා මගේ ඉවසීම බලවත්. මගේ ඉවසීම තුළ අර සියලු බල රහිත වෙලා යනවා. අර රැලිවලට ඇවිස්සිලා ගියා නම් මගේ ඉවසීම දුර්වල වෙනවා. අර කණ්ඩායමේ අදහස ඉෂ්ට වෙනවා. ප්‍රතිපදාව බලවත් වෙන්න ඕනේ. ජාතියක් විදිහට බලවත් වෙන්න පුළුවන් එතකොටයි. සිංහල ජාතිය ප්‍රතිපදාව බලවත් වුණු ජාතියක්. කටේ බලයෙන්, මුදල් බලයෙන්, සිංහල ජාතිය පවත්වන්න බැහැ. මේක පවත්වන්න පුළුවන් ප්‍රතිපදාවේ බලයෙන්. ප්‍රතිපදාව බලවත් වෙච්ච ගමන්, ප්‍රතිපදාව බලවත් වෙච්ච අය දිව්‍ය ලෝකයේ ඉපදිලා ඉන්නවා. ප්‍රතිපදාව දුර්වල වූ අය ඉන්නේ සතර අපායේ. ඒ අයට මොකුත් කරන්න බැහැනේ. ප්‍රතිපදාව බලවත් වෙච්ච අයට, දිව්‍ය ලෝකයට ගිය ප්‍රතිපදාව බලවත් වූ අයගේ උදව් ලැබෙනවා. එය ධර්මය බලවත් වීම සඳහා ලැබෙන උදව්වක්.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

By | 2017-04-18T15:26:29+00:00 April 18th, 2017|0 Comments

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

Leave A Comment