Loading Events
  • This event has passed.

නමෝ බුද්ධාය!

සොළොස් කලාවෙන් ම පිරී ගිය පූර්ණ සඳ මඬළ අහස් කුසෙහි නැගෙමින් මේ උදාවන්නේ ඉල් මස පුර පසළොස්වක පොහොය දිනයයි. සැදැහැ සිතින් තෙරුවන් සරණ ගිය ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක් ම ඉල් පුන් පොහොය දිනය මූලික වෙමින් සිදු වී තිබෙනවා.

මෙම ඉල් පුන් පොහොය උදාවත්ම වස්සාන ඍතුව අවසන් වෙනවා. මීට වසර 2603 කට පෙර උදා වූ ඉල් පුන් පොහෝ දිනයේ දී තමයි අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළේ.

ගැඹුරු ප්‍රඥා ඇති අපගේ ශාස්තෘන් වහන්සේ විසින් මේ ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්මයට පත් වී වදාළා. තමන් වහන්සේ ලද ඒ පුළුල් වූ ජීවිතාවබෝධය ගැන ඒ සම්බුදු මුව මඬළින් මෙබඳු උදානයක් පහළ වුණා.

“කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුං
රාගදෝසපරේතේ හි – නායං ධම්මෝ සුසම්බුධෝ.

‘මා විසින් ඉතා දුකසේ ධර්මය අවබෝධ කරන ලද්දේය. එය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් පලෙක් නැත. රාග ද්වේෂ ආදී කෙලෙසුන්ට යට වී සිටින උදවියට මේ ධර්මය ලෙහෙසියෙන් අවබෝධ කළ නොහැක්කේය’

“පටිසෝතගාමිං නිපුණං – ගම්භීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඛින්ති – තමොක්ඛන්ධේන ආවුතා’ති.

‘මේ ධර්මය උඩුගම් බලා යන්නකි. සියුම්ය. ගැඹුරුය. දැකීමට දුෂ්කරය. ඉතා සියුම්ය. රාගයෙන් ඇලුන සත්වයෝ, අවිද්‍යා අඳුරෙන් සිත් වැසුණු සත්වයෝ මෙය නොදකිති’යි.

මෙය දුටු සහම්පතී මහා බ්‍රහ්ම රාජයා ඒ මහා වීර සම්බුදු රජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනු ලැබුවා. එම ඇරයුම නිහඬව පිළිගත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික සම්බුදු දෙනෙතින් ලෝකය දෙස බලා වදාරන සේක්; මේ සත්ව ප්‍රජාව වනාහී විලක හටගත් නෙළුම් කැකුළු බඳුය. හිරු මඬළක් බඳු සම්බුදු රජුන්ගේ දහම ලොවට විවර කළහොත් ඇතැම් සත්වයෝ හිරු දුටු පියුමක් සේ පිබිදෙන බව උන්වහන්සේ දුටුවා.

“අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං.

‘යම් කෙනෙක් සවන් යොමා අසනු කැමැත්තහුද, ඔවුහු ශ්‍රද්ධාව මුදත්වා! ඔවුන් හට අමා දොර විවර කරන ලද්දේ ය.

යනුවෙන් උදාන වාක්‍ය දේශනා කරමින් ඒ අනුත්තර සිහරජාණෝ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරනු පිණිස බරණැස් නුවර ඉසිපතන මිගදායට වැඩම කොට වදාළා. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජි යන පුණ්‍යවන්ත ශ්‍රමණවරු අමතා මේ මහ භද්‍ර කල්පයේ පහළ වූ සිව්වන සම්බුදු රජාණෝ දස දහසක් සක්වළ ඒකාලෝක කරවමින්, කම්පිත කරවමින් උතුම් දම්සක පවත්වා වදාළා. අනතුරුව ඒ පස්වග භික්ෂූන් උදෙසාම අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කොට උතුම් අරහත්වයෙහි හික්මවා වදාළා. මේ අයුරින් ලෝකයට රහතන් වහන්සේලා සය නමක් බිහිවුණා.

එසමයෙහි බරණැස් නුවර යස නම් සිටු පුත්‍රයෙක් වාසය කළා. ඉඳුරන් පිනවන ගෘහ ජීවිතය ගැන කළකිරුණු සිතින් ඔහු සිටු මැදුරෙන් නික්මී බරණැස ඉසිපතන මහ වනයට පිවිසුණා. මහා ඉසිවර බුදුසමිඳුන් විසින් මේ යස තරුණයාවද උතුම් අරහත්වයෙහි හික්මවනු ලැබුවා. ලෝකයට රහතන් වහන්සේලා සත් නමක් බිහි වී වදාළා.

‘යස සිටු පුත්‍රයා ගිහි ගෙදරින් නික්මී කෙස් රැවුල් ඉවත් කොට පැවිදි බවට පැමිණියේය’ යන ආරංචිය විමල, සුබාහු, පුණ්ණජි හා ගවම්පති යන යස සිටු පුත්‍රයාගේ සමීපතම මිතුරන් සතර දෙනාට අසන්නට ලැබුණා. “ප්‍රිය මිත්‍රයෙනි, අපගේ මිත්‍ර වූ යස සිටු පුත්‍රයා පැවිදි බව පිණිස යම් ධර්ම විනයක් තෝරාගත්තේ නම් එය කිසි විටෙකත් ළාමක එකක් නම් විය නොහැක්කේය යයි කතිකා කරගත් ඔවුන් ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි බවට පත්ව නොබෝ දිනකින්ම නික්ලේශී රහතන් වහන්සේලා බවට පත්වී වදාළා. මේ වනවිට ලෝකයේ වැඩ සිටියේ රහතන් වහන්සේලා එකොළොස් නමක් ම පමණයි.

යස මහරහතන් වහන්සේගේ තවත් මිතුරන් පනස් දෙනෙක් තරමක් දුරින් පිහිටි ගම් දනව් වල වාසය කළා. තම මිත්‍රයා පැවිදි වූ බව අසන්නට ලැබුණු ඔවුන් යස මහ රහතන් වහන්සේ හමු වීමට පැමිණියා. තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මුව මඬළින්ම දහම් ඇසීමේ වාසනාව ලද ඒ මිතුරන් ද බුදු සසුනේ පැවිදිව රහතන් වහන්සේලා බවට පත්වුණා. මේ අයුරින් ලෝකයේ රහතන් වහන්සේලා හැට එක් නමක් පහළ වී වදාළා.

වස්සාන ඍතුව අවසන් වන ඉල් පුන් පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ ඒ රහතන් වහන්සේලා හැට නම අමතා මේ අයුරින් වදාළා

“මුත්තෝ’හං භික්ඛවේ සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා, තුම්හේ’පි භික්ඛවේ මුත්තා සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා.

‘පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය’

“චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

‘පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න’

“මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං, ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ.

‘දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න’

“සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති.

‘කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි’යි පවසා ඒ ගෞතම බුදුරජාණෝ දහම් පණිවිඩය රැගත් තම ශ්‍රාවක පිරිස පිටත් කොට හැරියේ උතුම් ඉල් මස පුන් පොහෝ දිනයේ දීය. ඉතින් අද වැනි උතුම් දිනයෙක ධර්ම ප්‍රචාරය පිණිස චාරිකාවේ වැඩම කළ ඒ පළමු රහතන් වහන්සේලා හැට නමට අපගේ නමස්කාරය වේවා!!!

එකම ස්ථානයක දී දහසක් භික්ෂූන් අරහත්වයට පත් කරවූ තුන්බෑ ජටිල පිරිස දමනය කිරීම පිණිස අනුත්තර පුරිසදම්ම සාරථී වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගමන් ඇරඹීම සිදු වුණෙත් ඉල් මස පෝය දිනයේදීමයි.

පසුවස් සමාදන් වූ භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොය දිනයයි. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි.

එමෙන්ම මේ මහා භද්‍ර කල්පයේ මතු බුදු බව ලබන මෛත්‍රීය මහ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේත් ඉල් පුර පසළොස්වක් පොහෝ දිනයයි.

මේ උතුම් වූ ඉල් පොහොය දිනයේ සැදැහැබර සිත් සංවේගයට පත් කරවන සිදුවීමකුත් සිදුවුණා. එක් අවස්ථාවක සේල නම් බමුණෙකුට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා “සැබැවින්ම සේලයෙනි, මාගේ ධර්ම රාජ්‍යයේ අභීත සෙන්පතියෙක් ඉන්නවා. ඔහු තථාගතයන් වහන්සේ වගේමයි උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ. ඔහුට තමයි තථාගත අනුජාත සාරිපුත්ත කියන්නේ.

ඒ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන සාරිපුත්ත මහ රහතන් වහන්සේට දිනක් මෙබඳු කල්පනාවක් ඇතිවුණා. ‘බුදු සසුනක අග්‍රශ්‍රාවකයින් පිරිනිවන් පාන්නේ තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවද? නැතහොත් ඊට පෙරද?’ අග්‍ර ශ්‍රාවකයින් තථාගතයන් වහන්සේට ප්‍රථමව පිරිනිවන් පානා බව දුටු උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කොට පිරිනිවන් පෑම පිණිස අවසර ඉල්ලා සිටියා. භික්ෂු සංඝයා හට අම්මා කෙනෙක් බඳුවූ ඒ මහෝත්තම සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසා සිටියා.

“සාරිපුත්තයෙනි, ඔබ කොහිද පිරිනිවන් පාන්නේ

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, නාලක ගමේ මා උපන් නිවසේ දීම අදින් සත් දිනකින් පසු පිරිනිවන් පාන්නෙමි.

“එසේ වී නම් සාරිපුත්තය, ඔබ වැනි උතුම් භික්ෂුවකගේ දැක්ම යළි මේ භික්ෂු සංඝයාට නොලැබෙන්නේය. එනිසා මේ භික්ෂු සංඝයා උදෙසා ධර්මය දේශනා කරන්න.

එසැණින්ම සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදු රජුන්ගේ සිරිපා වන්දනා කළ සේක. ඍද්ධි බලයෙන් අහසට පැන නැගුණු සේක. නොයෙක් ප්‍රාතිහාර්යයන් දැක්වූ සේක. කඳු මුදුනක සිට අභීතව ගර්ජනා කරන සිංහ රාජයෙකු පරිද්දෙන් සිරි සදහම් දෙසූ සේක. ඉක්බිති අහසින් බැස සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ සම්බුදු සිරිපා කමල් පිරිමදිමින් තුන්වරක් සිරසින් වන්දනා කරන කල්හි, මේ මිහිකත සෙලවී කම්පා වී ගියේය. අකල් වැසි ඇද හැලූණේය. විදුලි කෙටිලි ඇති වූයේය.

සම්බුදු රජාණන් වහන්සේ ගේ ගන්ධ කුටියෙන් එළියට වැඩම කළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ ගන්ධ කුටියේ සිවු දිශාවෙන්ම නළල බිම තබා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ සේක. යළි පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළ සේක. මුළු කයම හරවා ඒ ගන්ධ කුටිය දෙස අවසන් වරට බැලූ සේක. දොහොත් මුදුනේ තබා යළිත් වතාවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ ආදරයෙන් වන්දනා කළ සේක.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පසුගමන් පැමිණි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස දහම් කතාවෙන් සතුටු කොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනුරුද්ධ, චුන්ද ආදී මහ රහතුන් ප්‍රමුඛ පන්සීයක් භික්ෂු සංඝයා සමග නාලක ගම බලා වැඩම කළ සේක. ඒ වන විට ලේ අතීසාර රෝගය උග්‍ර ලෙස වැළඳී තිබූ උන්වහන්සේ උපරේවත නමැති ඥාති තරුණයා අත තම මව් බැමිණියට රාත්‍රියක් විවේක ගැනීම පිණිස නිවසට වැඩම කරන බවට පණිවිඩයක් යැවීය. සාරී බැමිණිය කල් දැන්වූ කල්හි භික්ෂු සංඝයා සමග නිවසට වැඩම කොට සකසා තිබූ සේනාසනයේ සැතැපුන සේක.
එදින රාත්‍රියේ ගිලන් වූ සාරිපුත්තයන් වහන්සේට උපස්ථාන කිරීමට නිවස ඒකාලෝක කරමින් සතර වරම් දෙවිවරුත් සක් දෙවිඳුත් මහා බ්‍රහ්මයාත් පැමිණ පිටවී යන අයුරු සාරී බැමිණිය දුටුවේය. ඒ පිළිබඳ විමසූ ඇයට කරුණු පහදා දෙන කල්හි ‘සතර වරම් දෙවිවරුන්ගෙන් සක් දෙවිඳුන්ගෙන් එපමණක් නොව මහා බඹුන්ගෙන් පවා මාගේ පුත්‍ර රත්නයත් උපස්ථාන ලබයි නම් ඔහුගේ ශාස්තෘන් වහන්සේ කොපමණ ශ්‍රේෂ්ඨ වන සේක්දැ’යි සිත පහන් විය. ඒ මොහොතේ සම්බුදු ගුණ පහදා දෙමින් ධර්ම දේශනා කළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තම මව් බැමිණිය ද සෝතාපන්න ශ්‍රාවිකාවක් ලෙස හික්මවා වදාළ සේක.

අනතුරුව පූර්ණ චන්ද්‍රයා අහස් ගැබ පෑයූ ඒ ඉල් පුන් පොහෝ දිනයේ අළුයම ගෞතම බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පහන් සිලක් නිවී යන්නා සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවීමෙන් පසු දිනක් උක්කචේලා නුවරදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙසේ වදාළ සේක.

‘අත්තදීපා භික්ඛවේ විහරථ, අත්තසරණා අනඤ්ඤසරණා. ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා’

“පින්වත් මහණෙනි, තමාව දූපතක් කොට ගෙන තමාව ම සරණ කොටගෙන වසව්. අන් කිසිවෙක් සරණ කරගන්ට එපා! ධර්මය ම දූපත කොට ධර්මය ම සරණ කොට වසව්. අන් කිසිවක් සරණ කරගන්නට එපා!

(උක්කචේලා සූත්‍රය)

මේ උතුම් ඉල් පුන් පොහෝ දිනයේ ඒ මහා කාරුණික අනුශාසනාව සිත්හි දරාගෙන අපට ද ධර්මය ම පිහිට කරගෙන ධර්මය ම දූපත කරගෙන ධර්මයෙන් උපන් ජීවිත ගොඩනගා ගැනීමේ වාසනාව උදාවේවා!