Loading Events
  • This event has passed.

පොහෝදා සජීවී විකාශය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ..

නමෝ බුද්ධාය..

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ අද වැනි වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

පෙරවස් පවාරණය

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. ‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිති. පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

සංකස්සපුර දේවාවරෝහණය

භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස, යමක මහා ප්‍රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය.

වප් පුර පසළොස්වක පොහෝ දිනය එළැඹියේය. පුරා තුන් මසක් මුළුල්ලෙහි තව්තිසාවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට දිව්‍ය බ්‍රහ්ම මහා හරසර මැදින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩි සේක. සම්බුද්ධ ශරීරයෙන් සවණක් ඝණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දෙව් බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස පුරයට වැඩි ඒ අසිරිමත් සම්බුදු මහිමය සිදුවූයේ වප් පුන් පොහෝ දිනයකදීය. ඒ විස්මය දුටු අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, සර්වඥයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරමින්, මෙවැනි බුද්ධශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින්, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බලමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සම්බුදු ගුණ වර්ණනා කළ සේක.

ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේගේ විස්මිත පෙළහර නිමිති කරගෙන රැස්වූ දෙව් මිනිස් සමාගමයට ධර්මය දේශනා කරමින් මෙසේ වදාළ සේක.

“යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවාපි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං”

(ධම්ම පදය – බුද්ධ වග්ගය)

ඒ ගාථා කෙළවර බොහෝ දෙනෙක් මගඵල ලැබූහ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සද්ධිවිහාරික පන්සියයක් පමණ භික්ෂූන් අරහත්වයට පත්වූ සේක. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්න මාලාවක් මහාප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ විසඳන ලදී. එවිට ඒ මහා ජන සන්නිපාතය මධ්‍යයේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්‍රාවකයා ලෙස සම්බුදු මුවින් සාරිපුත්ත මාහිමියන් ප්‍රශංසාවට ලක් විය.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම සසුනේ පැවිදි බව ලැබීම

දේවාවරෝහණ මහා පෙළහර දැකීමෙන් අතිශයින් ප්‍රමුදිත සිත් ඇති බොහෝ දෙනෙක් එදින සම්බුදු සසුනේ පැවිදි බව ලැබූහ. සුර, නර මහා සංගමයේදී බුදුරජාණන් වහන්සේ හා සාරිපුත්තයන් වහන්සේ අතර ඇති වූ රමණීය දහම් සංවාදයට සවන් දුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ද ඉමහත් ප්‍රසාදයට පත්ව ගෞතම සසුනේ පැවිදි විය. මේ මහා භද්‍ර කල්පයෙහි, මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල, සම්බුද්ධත්වය සාක්ෂාත් කරනා, මෛත්‍රී බෝසතුන් එලෙස පැවිදි වූයේ ද වප් පුන් පොහෝ දින දී ම ය.

විනය සංගායනාව

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උදාර සේවාවක් සිදුකළ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් ‘ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටියේදැයි“ විචාලේය. ‘එම්බා මහරජ, ශාසනය පිහිටියේය. එහෙත් තවම මුල් බැසගෙන නැත“ යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ‘ශාසනය මුල් බැස ගන්නේ කෙසේදැයි?“ තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මව්පියන් හට දාව උපන් දරුවෙක් මෙහි දී ම පැවිදිව විනය පිටකය ඉගෙනගෙන මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයිද එකල්හී බුද්ධ ශාසනය මුල් බැසගත්තා වන්නේය“ යැයි මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළහ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහා අරිට්ඨ මාහිමියන්ට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුනි. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පිරිදි ථූපාරාමය සෑ මළුවේදී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතන් වහන්සේලා වප් පුන්පොහෝ දින විනය පිටකය සංගායනා කළ සේක. ඒ මොහොතෙහි ලක්දිව සම්බුදු සසුන මුල්බැස ගත් ප්‍රීතියෙන් මිහිකත කම්පිත විය.

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම

ලංකාද්වීපයේ රාජ්‍යය පාලනය කළ දේවානම්පිය තිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ශ‍්‍රී සද්ධර්මය අසා බුදු සසුනේ බොහෝ සේ පහන් වූ සිත් ඇත්තේ දිවමන් මුනි රජාණන් බඳු වූ ඒ ජය ශ‍්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවාගෙන ඒම පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ කතිකා කරන්නට විය. ඒ අනුව අරිට්ඨ මහා අමාත්‍යවරයා ප‍්‍රධාන දූත පිරිවරක් දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත් පිටත් කරවා යැවීය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ සමඟ කරුණු පැහැදිලි කරගත් ධර්මාශෝක නරේන්ද්‍රයන් මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමට සියල්ල සංවිධානය කරවන්නට වූහ. විජය ශ‍්‍රී ජය ශ‍්‍රීමහා බෝධීන් වහන්සේ මනාකොට සරසා පුද පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කරගැනීමට ධර්මාශෝක රජු රන් තෙලිතුඩක් ගෙන මහා බෝධීන් වහන්සේත් දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දේ ය.

සැබැවින් ම ආශ්චර්යයකි! රැස් ව සිටි පිරිසගේ සාධුකාර මැද දක්ෂිණ ශාඛාව තෙමේ ම වෙන් වී පිළියෙළ කොට තිබූ රන් කටාරමේ පිහිටන්නට වූ සේක. කටාරමේ පිහිටි බෝධි ශාඛාව එයත් සමඟ ම ඍද්ධියෙන් අහසට පැන නැඟ වළා අතර නොපෙනී ගිය සේක. මේ මහා අසිරිය සිදු වූයේ උතුම් වූ වප් පුන් පොහෝ දිනයක දී ය.

මෙවන් උතුම් ශාසනික සංසිද්ධීන්ගෙන් අනූන වූ වප් පුන් පොහෝ දිනයේ දී අපි සියලු දෙනා ම දානාදී පින්කම් සිදුකරමින්, සීලාදී කරුණා මෛත්‍රීයාදී ගුණධර්මයන් දියුණු කර ගනිමින්, භාවනාදී ප්‍රතිපත්තීන්හි නියැලෙමින් සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමු. මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් තිසරණය ම පිළිසරණ කරගනිමු!

තෙරුවන් සරණයි!

(ඇසුර – පොහොය වර්ණනාව – මාපලගම සෝමිස්සර හිමි)