Loading Events
  • This event has passed.

පොහෝදා සජීවී විකාශය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ..

නමෝ බුද්ධාය !

ලෝ සතුනට පතළ මහා කරුණාවෙන් යුතුව මේ මහා භද්‍ර කල්පයේ සම්බුදු රජාණන් වහන්සේලා සිව් නමක් පහළ වූ සේක. ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වූ භූමිය නම් දඹදිව් තලයේ මධ්‍ය ප්‍රදේශය යි. ඒ සියලු බුදුවරුන් පහළ වූ පින්බර දේශයට ආසන්නව යි අප උපන් කුඩා දිවයින පිහිටා තිබෙන්නේ. ඉන්දියානු මහ සයුරේ කුඩා මුතු ඇටයක් සේ පිහිටි මේ සිරි ලංකාද්වීපය නිර්මල වූ සිරි සදහම් අමාව සුරැකී තිබෙනා ධර්මද්වීපය යි. සිව් බුදුරජාණන් වහන්සේලා ගේ ම පහස ලද පින්බර දිවයින යි.
ගෞතම නමින් තිලොවේ ම පිදුමන් ලබනා අපගේ ශාස්තෘන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතර වන සම්මා සම්බුදු රජාණන් වහන්සේය. ඒ අනන්ත වූ සම්බුද්ධ ඥානයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ දැක වදාළා නෛර්යානික වූ ස්වාක්ඛාත වූ ධර්මය මතුවට සුරැකෙන්නේ මේ පුංචි දිවයිනේ බව. සම්බෝධියට සෙවන සලසාලූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව සුරැකෙන්නේ මේ පුංචි දිවයින තුළ බව. ශ්‍රීමත් සුගත තථාගත ධාතූන් වහන්සේලා තැන්පත් කොට මනහර සෑයන් ඉදිවන්නේත් මේ පුංචි දිවයිනේ ම බව. ඒ නිසාම ඒ මහා කරැණිකයාණෝ තෙවරක් ම මේ පින්බිමට වැඩම කොට, නික්ලේශී සම්බුදු සිරුරින් මේ භූමිය ස්පර්ශ කොට වදාළ සේක.

මේ එළඹෙන්නේ බක් මාසයේ පුර පසළොස්වක පොහොය දිනය යි. මේ බක් පුන් පොහොය දිනය තෙරුවන් සරණ ලැබූ සැදැහැවත් කෙනෙකුට පින්බර වූ අනුස්මරණීය දිනයකි. ශාන්තිනායක වූ අපගේ ගෞතම බුදු සමිඳාණෝ උතුම් සම්බුද්ධත්වයට පැමිණ ඒ වන විට වසර පහක් ගෙවී ගොස් තිබුණි. එකල එළඹුණු බක් පුන් පොහෝ දිනයේ මහා කරුණා සමවතින් ලොව දෙස බලනා සම්බුදු රජාණෝ මේ ලක්දිව සිදුවීමක් දැක වදාළ සේක. ඒ නා රජවරු දෙදෙනෙකු යුධයකට සැරැසී සිටිනා අයුරුයි.

එවකට මේ සිරි ලංකාද්වීපයේ සමුද්‍රෙය් යොදුන් පන්සියයක් දුරට අණසක පැතිරූ මහා බලසම්පන්න මහෝදර නම් නා රජෙක් විය. ඔහුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයේ නා රජු හට පාවා දුන්නාය. ඒ දෙදෙනාට දාව උපන් පුත්‍රයා චූලෝදර නම් විය. චූලෝදර නාගයා ද මුහුදුවැසි නාගයන් මෙන්ම මහා බලසම්පන්න විය. ඉක්බිති මහෝදර ගේ පියා කළුරිය කරද්දී තමා පරිහරණය කළ අගනා මිණිපළඟ චූලෝදර ගේ මෑණියන්ට පවරා දුන්නේය. ඒ මිණිපළඟට ලෝභ වූ මහෝදර සුවිශාල නාග සේනාවක් සමග යුධයට පිවිසුනේය. චූලෝදර ද තම මාමණ්ඩියට එරෙහිව යුධයට සැරසුනේය. මේ මහා සංග්‍රාමය නාගදීපයේ දී සිදුවීමට තිබිණි.

සිදුවීමට යන විනාශය දුටු අනුත්තර පුරිසදම්ම සාරථීන් වහන්සේ ඍද්ධියෙන් නාගදීපයට වැඩම කොට අහසේ වැඩ සිටි සේක. ඒ ගමනට දෙව්රම් වෙහෙර අසළ විමානය කොටගෙන සිටි සමිද්ධි සුමන නම් දෙව්රජු ද කිරිපළ රුකක් ගෙන එය තථාගතයන් වහන්සේ හට ඡත්‍රයක් කොට දරමින් පැමිණියේය. විශාල නා පිරිසක් රැස් වූ ඒ නාගදීප භූමිය බුදුරජුන් ගේ ඍද්ධියෙන් ඝන අන්ධකාර වී ගියේය. එකිනෙකා නොපෙනෙන තරම් දැඩි වූ ඒ අඳුරට බියපත් නාගයෝ විලාප නගන්නට වූහ. එවිට ඒ අඳුර අතරින් ආලෝකධාරා විහිදුවාලමින් සම්බුදු රජාණන් වහන්සේ පෙනී සිටි සේක්, සියල්ලෝම ඒ බුදුරජ වන්දනා කළෝය.

දමනය වූ ඒ නාග පිරිස බුදුරජුන් ගෙන් අභය ඉල්ලුවෝය. මිහිරි සරින් කාකෝලුක ජාතකය, ථන්දන ජාතකය, වට්ටක ජාතකය, ලටුකික ජාතකය ඇසුරින් ගුණමකු බවේත් එකටෙක කිරීමෙත් ආදීනව පහදාලමින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දී නා පිරිවරට ධර්ම දේශනා කොට වදාළ සේක. සසරේ ආදීනව පෙන්වා දී වදාළ සේක. යුධයට සැරැසුණු නා පිරිස එය අවසානයේ සමගි වූහ. බුදුරජාණන් වහන්සේ අහසින් බිමට වැඩම කළ කල්හි චූලෝදර හා මහෝදර නා රජවරු දෙදෙනා විසින් ඒ වටිනා මිණිපළඟ පූජා කළේය.

ඒ මිණිපළඟ මත වැඩ සිටි සම්බුදු රජාණන් වහන්සේ අසූ කෝටියක් පමණ වූ ඒ නාග පිරිස තිසරණ සහිත පංච සීලයෙහි පිහිටුවා වදාළ සේක. අනතුරුව පාරිභෝගික වස්තුවක් ලෙස වැදුම් පිදුම් කිරීම පිණිස ඒ වටිනා මිණි පළඟත් කිරිපළු රුකත් නා පිරිසට ම ලබා දුන් සම්බුදු රජාණෝ එදින ම යළි දෙව්රම් වෙහෙර බලා වැඩම කොට වදාළ සේක.

ඉතින් සම්බුදු පියාණන් වහන්සේ ගේ දෙවැනි ලංකාගමනය සිදු වූ මේ පින්බර බක් පොහෝ දිනයේ අපිත් සැදැහැ සිතින් පෙහෙවස් සමාදන් වෙමු. සිත, කය, වචනය සංවර කර ගැනීමට මහන්සි වෙමු. දුර්ලභව ලද මිනිසත් දිවියේ පින් රැස්කර ගැනුමට උත්සාහවත් වෙමු.

ඒ රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන් හී උපකාරයෙන් අප සියළු දෙනාම මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කරන වාසනාවන්තයෝ වෙත්වා!

තෙරුවන් සරණයි!

ශාක්‍යයන්ගේ මහා මුනිඳාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !