Loading Events
  • This event has passed.

පොහෝදා සජීවී විකාශය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ..

නමෝ බුද්ධාය..

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත් මහා කැරැල්ල සුමන කුමරුගේ මැදිහත් වීම යටතේ ඉතා මැනැවින් සංසිඳී තිබේ. ඒ ගැන ආනන්ද රජුගේ සිත බොහෝ සෙයින් සතුටට පත් වූ සෙයකි. රජු තමා ඉදිරියේ සිටි කැරැල්ල සංසිඳ වූ දෙටුපුත් සුමන කුමරුට මෙසේ පැවසුවේ ය.
“අගෙයි මා පුත‍්‍රය, ඉතාමත් ම අගෙයි. ඔබ ගැන පිය රජුගේ සිත ඉතාමත් සතුටට පත්වයි තිබෙන්නේ. ඉදින් තොප කැමැති යම් වරයක් වේ නම් දැන් එය ඉල්ලව. මා ඔබට එය ලබා දෙමි”

“අවසර පිය රජතුමනි, මසිතේ බෝහෝ කලක සිට පවතින ආශාවක් තිබේ. එය ඉටු කිරීමේ හැකියාව ඇත්තේද පිය රජතුමාට ම පමණි. එය ඔබ තුමා හට ලබාදීමට අසීරු වරයක් වුවත්, ක්ෂත‍්‍රීයයන්ගේ වචන දෙකක් නොමැති බැවින් මා හට එය ඉල්ලා සිිටීමට අවසර”

“පුත‍්‍රය තොප කැමැති වරය නොපමාව ඉල්ලව”

“පිය රජතුමනි මාගේ ඉල්ලීම නම් මෙයයි. මේ එළඹෙන්නේ වස්සාන සමයයි. ඔබ වෙන කිසිවෙකු හටවත් ලබාදීමට අකමැති ඒ භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු සංඝයා හට උපස්ථාන කිරීමේ අවස්ථාව මා හට ලබා දෙනු මැනැවි.”

මීට කල්ප ලක්ෂයකට පෙර සිදු වූ පුවතකි මේ. ඒ පියුමතුරා නොහොත් පදුමුත්තර නම් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ යුගයයි. හංසවතියේ අගරජ බුදු සසුනේ පහන් සිත් ඇත්තේ විය. නිති බුද්ධ ප‍්‍රමුඛ ශතසහශ‍්‍රයක් සංඝයා විෂයෙහි උපස්ථාන කරනා ඔහු ඒ අවශ්ථාව වෙන කිසිවෙකු හට ලබා නොදේ. එහෙත් කැරැල්ලක් මැඩ පැවැත් වූ තම දෙටු පුත‍්‍රයා හට පොරොන්දු වූ වරය ලබාදිය යුතුය. එහෙයින් අකමැත්තෙන් වුවද සුමන කුමාරයා හට බුදුරජුන් හට උපස්ථාන කිරීමේ වරය ලබා දුන්නේය.

සුමන කුමාරයා ඉතා සැදැහැ සිතින් යුතුව පියුමතුරා බුදු රජාණන් වහන්සේටත් ශතසහශ‍්‍රයක් පමණ වූ මහා සංඝරත්නයටත් උපස්ථාන කළේය. බොහෝ පින්දහම් රැස් කර ගත්තේය. ඔහුගේ සිතේ උතුම් අදහසක් විය. ‘අනේ මා හට අනාගතයේ ලොව පහල වන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නමකගේ අග‍්‍ර උපස්ථායකයා වීමට ලැබේවා’ යි පින් රැස් කරමින් සුමන කුමාරයා ප‍්‍රාර්ථනා කළේ ය.

පදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුදු සසුනේ එසේ පින් රැස් කල හෙතෙම ඊට කල්ප ලක්ෂයක ඇවෑමෙන් පහළ වූ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු එකසිය විස්සක් වූ යුගයේ මනුලොව උපත ලැබීය. ඒ කපිලවස්තු නුවර අමිතෝදන ශාක්‍ය රජදහනේ ය. ඒ පින්වන්ත සිඟිත්තාගේ දැකීම සියල්ලන්ගේ සිත් ආනන්දයට පත් කළේය. එනිසා ම ඔහු ආනන්ද නම් විය. ආනන්ද කුමරු මහා නුවණැත්තෙකි.

උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කල ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසි දහසක් මහ රහතුන් පිරිවරාගෙන කිඹුල්වත් පුරවරයට වඩිනා දිනයේ ඒ සම්බුදු රජාණන් වහන්සේ පිළිගැනීමට පැමිණි පිරිස අතරේ ආනන්ද කුමාරයා ද සිටියේය. ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්මෙන් ම සිත පහන් වූ ආනන්ද කුමරු ධර්මය අසා ඒ දහම අවබෝධ කිරීමේ අපේක්ෂාවෙන් ගිහි ජීවිතය අතහැර පැවිදි බව ලබා ගත්තේය. සසරේ රැස් කරන ලද පුණ්‍ය මහිමයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහ්නසේගේ අග‍්‍ර උපස්ථායකයාණන් වහන්සේ බවට පත් වූයේ ඒ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ ය.

ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුදු සසුනේ පහළ වී වදාළ විශ්මිත ශ‍්‍රාවකයන් වහන්සේ නමකි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ සසුනේ වැඩිම අග‍්‍රස්ථාන ලැබූ භික්ෂුව වූයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ය. තථාගත බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවක භික්ෂූන් අතරේ (බහුස්සුතානං) බොහෝ ඇසූ පිරූ තැන් ඇති භික්ෂූන් අතරත්, (සතිමන්තානං) මනා සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, (ධිතිමන්තානං) මනා ධාරණ ශක්තිය ඇති භික්ෂූන් අතරත්, (ගතිමන්තානං) වහා වැටහෙන නුවණ ඇති භික්ෂූන් අතරත්, (උපට්ඨාකානං) උපස්ථායක භික්ෂූන් අතරත් අග‍්‍රස්ථානය ලැබුවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසිනි.

ඒ අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ පනස් පස් වැනි වියේදී ස්ථීර උපස්ථායකයාණන් වහන්සේ ලෙස ආනන්ද ස්වාමීන් වහන්සේව පත් කර ගත් සේක. එතැන් පටන් විසිපස් වසරක් ම බුදු රජාණන් වහන්සේට සෙවනැල්ල මෙන් උපස්ථාන කිරීමේ වාසනාව ආනන්ද ස්වාමීන් වහන්සේට උදා විය. ඒ ගෞරවනීය බුද්ධෝපස්ථානය ගැන උන් වහන්සේගේ ථේර ගාථාවල මෙසේ සඳහන් වේ.

“මං අවුරුදු 25ක් ම ගත කළේ නිවන් මග පුහුණු වන (සේඛ) භික්ෂුවක් හැටියට. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. එබඳු වූ මා තුළ කාමය ගැන හැඟීමක් වත් නෑ.

අවුරුදු 25 ක් ම මං ගත කළේ සේඛ භික්ෂුවක් හැටියට. ධර්මයේ ආශ්චර්යය බලන්න. එතෙක් කාලෙකට මං තුළ ද්වේෂය ගැන හැඟීමක් වත් ඇතිවුණේ නෑ.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත‍්‍රී සහගත කයින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත‍්‍රී සහගත වචනයෙන්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත‍්‍රී සහගත සිතින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.”

පුරා සතලිස් පස් වසරක් ලෝ සතුන් කෙරෙහි මහානුකම්පාවෙන් ජීවිතාවබෝධය පිණිස ධර්මය දේශනා කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා පින්බිමේ දී දසදහසක් ලෝ ධාතුවම කම්පා කරවමින් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විටත් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ සේඛ භික්ෂුවක් ලෙසින්මයි. අනතුරුව මහා කස්සප මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයට ඉතා ඉක්මනින් ම බුදුරජුන්ගේ ධර්මය බාහිර මතවාදයන්ගෙන් අපිරිසිදු වන්නට මත්තෙන් සංගායනා කිරීමේ වැදගත්කම වැටහෙන්නට විය.

ඒ අනූව ‘පඤ්චසතිකා විනයසංගීති’ නමින් ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීමට මහා කස්සප මහ රහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් නම් කරන ලදි. ඉන් හාරසිය අනූ නවයක්ම භික්ෂූන් මහ රහතන් වහන්සේලා වූ අතර සේඛ භික්ෂුවක් වූ ආනන්ද ස්වාමීන් වහන්සේ ද ඒ සංඝයා අතරට නම්කොට තිබිණි. එතැන් පටන් ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් නිකෙලෙස් වීම පිණිස බලවත් ලෙස වීරිය කරන්නට විය. මේ අතර අජාසත්ත මහ රජුගේ අනුග‍්‍රහ යටතේ ප‍්‍රථම ධර්ම සංගායනාව සඳහා කටයුතු සම්පාදනය වෙමින් පැවැතිණි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව් මසක් ගත වී නිකිණි මස පුන්පොහෝ දිනයට පෙර දවස උදා විය. එහෙත් ආනන්ද ස්වාමීන් වහන්සේ තවමත් නිවන් මඟ හැසිරෙන සේඛ භික්ෂුවකි.

මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩම කොට ආනන්ද ස්වාමීන් වහන්සේට අවවාද කරමින් මෙසේ පැවසිය. ”ආයුෂ්මත් ආනන්දයෙනි, හෙට දිනයේ ධර්ම සංගීතිය ආරම්භ කල යුතුව තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික භික්ෂුව ලෙස ඊට ඔබ වහන්සේගේ සහභාගීත්වය අනිවාර්යය වුවකි. එහෙත් එයට සහභාගී විය යුත්තේ කෙලෙස් සහිත කෙනෙකු ලෙස නම් නොවේ. ආයුෂ්මත් ආනන්දයෙනි, වීරිය වඩන්න. භාග්‍යවතුන් වහන්සේ විසිනුත් මේ ජීවිතයේ දී ම ඔබ වහන්සේ අරහත්වයට පත් වන බව වදාළ සේක. එනිසා ආයුෂ්මත් ආනන්දයෙනි, වීරිය කරන්න.”

ඒ අවවාදය සිතෙහි දරාගෙන රාත‍්‍රී මැදියම තෙක්ම සක්මනෙහි විදසුන් වඩමින් වෙහෙසුණු වීරිය වැඩූ ආනන්ද ස්වාමීන් වහන්සේ අළුයම කල එළඹි කල්හි මදක් සැතැපීමේ අදහසින් සක්මනෙන් ඉවතට වැඩම කළ සේක. පා දෝවනය කරගත් උන්වහන්සේ මනා සිහි නුවණින් යුතුවම යහන වෙත පැමිණ යහනේ වාඩි වූ සේක. ඉතා සිහියෙන් ම යුතුව යහනේ සැතැපීම පිණිස දෙපා පොළොවෙන් මිදී තිබිය එනමුත් උඩුකය යහන මත ස්පර්ශ වී නොතිබෙද්දී මේ අතරතුර කාලයේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිත සියළු කෙලෙසුන්ගෙන් නිදහස් වූ සේක. ඒ පින්බර නිකිණි පුන් පොහෝ දින අළුයම සිව් ඉරියව්වෙන් ම තොර ඉරියව්වක දී ආනන්දයන් වහන්සේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

ඉන්පසු ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුළුව පන්සිය නමක් මහ රහතන් වහන්සේලා විසින් රජගහනුවර වේභාර පර්වත ප‍්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි සත් මසක් පුරාවටම සිදු කරන ලද ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද ඒ පින්බර නිකිණි පුන්පොහෝ දිනයේ දී ය.

ඉතින් මේ සියළු උතුම් සිදුවීම් සිහිපත් කරමින් සිත් සැදෑහෙන් පුරවාගෙන මේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2559 කට පසු උදාවන උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අපිත් අපගේ ජීවිතවල පිනෙන් පිරුණු දිනයක් ලෙස ගත කරන්නට මහන්සි ගනිමු.

තෙරුවන් සරණයි !