Loading Events

පොහෝදා සජීවී විකාශය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ..

නමෝ බුද්ධාය..!

ර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් ඇමතූ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ දේශනා කළ සේක.

“පින්වත් ආනන්දය, ඒක එහෙමමයි. පින්වත් ආනන්දය, ඒක එහෙමමයි. යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකලා අවසන් කරන්න බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම ආදියෙන්..”
(දක්ඛිණා විභංග සූත‍්‍රය – ම. නි. 3)

ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත‍්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පෝය දිනයේ දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.

ලක්දිව මුටසීව රජු රාජ්‍ය කරන කල්හී, දඹදිව රාජ්‍ය පාලනය කළේ අශෝක අධිරාජ්‍යයාය. අතිශය කෲර යුද වැදීමකින් අනතුරුව කාලිංගය ද තම රාජ්‍යයටම යටත් කොටගත් අශෝක රජු දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා ගත්තේය. එහෙත් දික් විජය නම් වූ යුධ වැදීමේදී මිය ගිය සුවිශාල මිනිස් ජීවිත ගැන ඔහු තුළ මහත් සන්තාපයක් විය. එය සංසිඳුවා ගනු නොහී පසුතැවිල්ලෙනි රජු කල් ගත කළේ.

මාලිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලාසිටි අශෝක රජු කැලඹුණු මිනිසුන් අතරේ දුටු අසිරිමත් දසුනකි. හත් හැවිරිදි නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ ශාන්ත පියොවින් මාර්ගයේ ගමන් ගනී. දුටු පමණින් පහන් වූ රජු ඒ සාමණේරයන් වහන්සේ සිය රජ මැදුරට වැඩම කරවා කතාබස් කළේය. නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ චණ්ඩාශෝක නමින් ප‍්‍රකටව සිටි දෘඪ සිත් ඇති අශෝක අධිරාජ්‍යයා හට ධම්මපදයේ අප්පමාද වර්ගයේ ගාථා වලින් දහම් දෙසූ සේක. ඒ ධර්මාශෝක රජු බිහිවීමේ ආරම්භයයි.

අතිශයින්ම බුදු සසුන කෙරෙහි පැහැදුනු අශෝක අධිරාජ්‍යයා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදු සසුනට පූජා කළේය. තම ලෙයින් උපන් මිහිඳු කුමාරයාත්, සංඝමිත‍්‍රා කුමරියත් සසුන්ගත කරවූයේය. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ හා එක්ව රාජ්‍ය අනුග‍්‍රහයෙන් තෙවැනි ධර්ම සංඝායනාව කොට සසුන්කෙත පිරිසිදු කරලීමට දායක වූයේය. ධර්ම විජය යටතේ ධර්මදූත ශ‍්‍රාවක පිරිස් පිටත්කොට බුදුරජුන්ගේ ධර්මය ව්‍යාප්ත කරවීය.

ඒ ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප‍්‍රතිඵලයක් ලෙසය අප ලක්දිවට මේ ශ්‍රී සද්ධර්මය දායාද වූයේ. එකල මේ ලක්දෙරණ පාලනය කළ දෙවනපෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේය. ඒ උතුම් පුන් පොහෝ දිනයේදී “අනුබුදු” නමින් ලක්වැසියන්ගේ ගෞරවාදරයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවනපෑතිස් රජු හට හමු විය.

“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප‍්‍රශ්න කළේය.

මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැතිබව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් මේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය. නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.

වත්මන් අපටත් තෙරුවන් පිහිට, ධර්මයේ පිහිට ලැබීමට අවස්ථාව ලැබුණේද උන්වහන්සේ නිසාවෙන්මය. එනිසා මේ පින්බර පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරමින් අපිත් උන්වහන්සේ මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ සලසා ගන්නට මහන්සි ගනිමු.