සුන්දර සිතක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගතකරන්නට…

ධනාත්මක චින්තනය (Positive Thinking) අද වන විට ඉතා ම ජනප‍්‍රිය මාතෘකාවක්. මේ පිළිබඳ විශාල අවධානයක් වත්මන් සමාජයේ පවතිනවා.

එහෙත් අනිත්‍යය ගැන කතා කළ සමාජය මෙරට ගොඩනැංවූ ලෝකෝත්තර මෙන්ම ලෞකික සමෘද්ධිමත්භාවය, ඒ ගැන අවධානය යොමු නො කරන සමාජයට උදාකර ගැනීමට හැකියාව ලැබී නැහැ.

යම් දවසක අපේ සමාජය අනිත්‍ය ධර්මය ගැන මූලික වශයෙන් කතා කරන තත්ත්වයකට පත් වූවෝතින් ඒ සමාජය ගුණගරුක, කර්ම, කර්මඵල ගැන විශ්වාසය ඇති, සදාචාර සම්පන්න මනා ආචාර ධර්ම අනුව සකස් වූ එකක් වේවි. මේ අනුව නිරායාසයෙන් ම උසස් මනුෂ්‍යයන් බිහිවේවි.

බුද්ධ දේශනා සමඟ නම් මේ ධනාත්මක, ඍණාත්මක ආකල්ප කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ධර්මය පෙන්වා දෙන්නේ ජීවිතයේ සැබෑ තත්ත්වය යි. මිනිස් ජිවිතයක දී අපට ළඟා කර ගත හැක්කේ මොනවා ද? ඒ ජයග‍්‍රහණ ළඟා කරගත් විට මිනිසාට ලැබෙන ප‍්‍රතිලාභ මොනවා ද?

ලස්සනට ජීවත්වීමට කැමැති පුද්ගලයා වටහා ගත යුතුයි තමා ලස්සන විය යුත්තේ බාහිරින් පමණක් නොවන බව. ආභරණ පැළඳීමෙන් පමණක් සුන්දර වී පලක් නැහැ. පුද්ගලයකු සුන්දර විය යුත්තේ ඒ පුද්ගලයා ගේ ජීවිතයට බලපාන ප‍්‍රධානතම කාරණාව තුළ යි. එනම් චේතනාත්මක ක‍්‍රියාව යි.

මෙන්න මේ චේතනාත්මක ක‍්‍රියාව තුළ පුද්ගලයා සතුන් මැරීමෙන් වැළකී සිටියෝතින්, ඒ වාගේම සොරකමින්, වැරදි කාමසේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරස්ව සිය පැවැත්ම සාදා ගතහොත්, මීටත් අමතරව කේළමින් තොරව, ඵරුස වචන, හිස් වචන, අනුන් කෙටවීමෙන් තොර ව, අනුන් නො ගරහන චරිතයක් තමා තුළ වර්ධනය කර ගන්නවා නම්, ඒ කායික ක‍්‍රියා මත විශාල සුන්දරත්වයක් ගොඩනැගෙනවා. මේ පුද්ගලයාගේ වචන තුළ සුන්දරත්වයක් පවතිනවා.

අපි හිතමු මෙහෙම. කිසියම් කාන්තාවක් සිටිනවා නිතර ම සිය තොල්පට ආලේප කරන. ඒත් මොන තරම් දත් දෙපළ සුදින් බැබැළුණත්, මුවෙන් පිටවන්නේ මුසා බස් නම්, කේළාම් නම්, ඵරුස සහ හිස් වචන ම නම් බාහිරින් පෙනෙන සුන්දරත්වයෙන් කුමන පලයක් ද? ඒත් ධනාත්මක චින්තනය ගැන කතා කරන පුද්ගලයකුට වැදගත් වන්නේ බාහිර පෙනුම ම යි. සමහර විට එවන් අයකුට මුවින් පිටවන වචන ගැන තක්සේරුවක් නැහැ. රූපය ලස්සන නම් ඒ ඇති.

ඒත් ධර්මය ගැන කතා කරන පුද්ගලයා හැමවිට ම සලකා බලන්නේ මුව ගැන නො වේ. මුවින් පිටවන දේ ගැන යි. ඒ මතයි සුන්දරත්වයක් අත්විඳින්නේ. ඔබට මෙයින් පැහැදිලි ඇති ධර්මය හා ධනාත්මක චින්තනය යන දෙකරුණ අතර යමක් තක්සේරු කිරීමේ දී ඇති වෙනස.

පුද්ගලයකු මා කලින් සඳහන් කළ වාග් දුශ්චරිතවලින් තොර වී සිටින විට මෙවන් පුද්ගලයා හැමවිට ම වැදගත් කතාබහින් යුතු වෙනවා. මේ නිසා ම වැදගත් වචන හසුරවන වැදගත් කෙනකු බවට මේ පුද්ගලයා පත් වෙනවා. මේ වැදගත් බව මත සුන්දරත්වයක් ප‍්‍රකට වීමට පටන් ගැනෙනවා. මෙය ධනාත්මක යමක්.

මීළඟට මේ පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර අවෛරි වීමට, මෙවන් අයකුට මෙලොව අන් කිසිවකුට ලබාගත නොහැකි ආකාරයේ සුන්දර සිතක් ඇති කරගත හැකි යි.

මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ මූලික සැලැස්ම සකස් වන්නේ අනිත්‍ය ධර්මය මතමයි. ඒ අනිත්‍යයට යමකු ගරහනවා නම් ඒ පුද්ගලයාට අර කුණු ගඳ ගහන ජීවිතය මතම යි සතුටු වෙමින් සිටින්නට සිදුවන්නේ.

සැබෑ සුන්දර මිනිසා බිහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ම යි.

පුද්ගලයෙක් සුන්දරත්වයට ප‍්‍රිය නම් ඒ පුද්ගලයා සුන්දර ක‍්‍රියා සපුරන්නකු විය යුතුයි. ප‍්‍රිය වචන කතා කරන්නකු විය යුතුයි. සුන්දර සිතිවිලි ඇත්තකු විය යුතුයි. ඒත් මේ සුන්දරත්වය ගොඩනැගීීම ඉතා අපහසු යි. මෙය ධනාත්මක චින්තනයෙන් මෙහෙය වෙන පුද්ගලයා දකින සුන්දරත්වයට වඩා වෙනස්.

කොහොම නමුත් වටිනා දුර්ලභ දේ සෑම තැනක ම, සෑම විටක ම ඇත්තේ නැහැ. බලන්න දුර්ලභ පැළෑටියක් අරන්. ගොයමක් වවන්නට පටන් ගත් විට ඊට හානි කරන සතුන් ප‍්‍රමාණය කෙතරම් ද? ගොයමකට හානි කිරීමට එතරම් සතුන් ප‍්‍රමාණයක් සැදී පැහැදී සිටිනවා නම්, උදාර චරිතයක් නිරිමාණය වන්නට යන විට ඊට කෙතරම් බාධක ඒවි ද? ඒත් මේ පැමිණෙන සියලූ බාධක ජය ගෙන උදාර චරිතයක් තමා තුළ ගොඩනගා ගැනීම ඉතාම ශ්‍රේෂ්ඨ ක‍්‍රියාවක්.

මීට හොඳ උදාහරණයක් මා කියන්නම්. අප භාග්‍යවතුන් වහන්සේ වරක් මෙසේ දේශනා කළා. මහණෙනි, මා යම් පුද්ගලයෙක් උසස් යැයි සම්මත වූ පමණින් ඒ පුද්ගලයා වර්ණනා කරන්නේ නැහැ. එසේ ම උසස් යැයි සම්මත වූ පමණින් පුද්ගලයකු ගරහන්නේත් නැහැ. රූපය ප‍්‍රිය වූ පමණින් පුද්ගලයකු වර්ණනා කරන්නේ හෝ ගරහන්නෙත් නැහැ. ධනවතකු වීම නිසා පුද්ගලයකු වර්ණනා කරන්නේ හෝ ගරහන්නේ නැහැ.

මෙයින් අපට එක් කරුණක් පැහැදිලියි. මේ කිසිවක් බුදු කෙනකුන් අතින් කෙරෙන්නේ නැති නමුත් සාමාන්‍ය ලෝකයා කරනවා. බලන්න පුද්ගලයෙක් උසස් කුලයේ ඉපදීම හේතුවෙන් මිනිසුන්ගෙන් කොටසක් ඒ පුද්ගලයා වර්ණනා කරද්දී තවත් කොටසක් ඊට ගරහන්නේ නැද්ද? රූපය සුන්දර වීම නිසා පුද්ගලයෙක් වර්ණනා ලබනවා වගේ ම මේ හේතුව නිසා ම ගැරහුම් ද ලබන අවස්ථා නැද්ද? අප භාග්‍යවතුන් වහන්සේ ලෝකයා ගේ මේ ගැරහීම හා වර්ණනා කිරීම සඳහා පැහැදිලි මිනුම් දණ්ඩක් ඉදිරිපත් කළා.

ඒ මෙයයි, පුද්ගලයෙක් උසස් කුලයේ උපන් නමුත් දුරාචාරයේ යෙදෙනවා නම්, සිල්වතුන් ගුණවතුන් ගරහනවා නම්, මිථ්‍යාදෘෂ්ටික නම් උසස් කුලයේ උපන් පමණින් මෙවැන්නකු වර්ණනා කරන්නේ කෙසේ ද? ඒ වාගේ ම උසස් කුලයේ උපන් යම් පුද්ගලයකු කයින් වචනයෙන් සිතින් සුචරිතයේ යෙදෙනවා නම් ඔහු එසේ උපන් පමණින් මා ඔහු ගරහන්නේ කෙසේ ද? අන් සියලූ කාරණා සම්බන්ධවත් උන්වහන්සේ ගේ මිනුම් දණ්ඩ එය ම යි.

මෙයින් අපට යම් දෙයක් ඉතා පැහැදිලියි. එනම් පුද්ගලයකුගේ ජීවිතයේ බලපැවැත්වෙන වැදගත් ම කාරණා කිහිපයක් අතර එකක් වන්නේ ක‍්‍රියාවයි. තවත් වැදගත් වන්නේ ඔහු වෙත පවතින ආකල්ප යි. නැතිනම් ඔහු ගේ මතිමතාන්තර යි. පුද්ගලයකු තමන්ගේ මනස පවත්වන ආකාරයත් තවත් වැදගත් ම සාධකයක්.

එසේ නම් මනුෂ්‍යයාගේ ක‍්‍රියාවත්, දෘෂ්ටියත්, මනසත් සුන්දර කරවන්නේ යම් ධර්මයකින් ද ඒ ධර්මය මෙලොව අන් සියලූ දෑ අතර වෙන්ව ගත හැකි යි.

මෙලොව වාසය කළ යම්කිසි පුද්ගලයකු ගේ ක‍්‍රියාවත් දෘෂ්ටියත්, මනසත් පරිපූර්ණ වශයෙන් ම කිසියම් ධර්මයක් විසින් සුන්දර කරනු ලැබුවා නම් එය සිදුකරන ලද්දේ කුමන ධර්මයක් විසින් ද? ඉතිහාසය සම්බන්ධව මේ කාරණාව අප මීළඟට විමසා බැලිය යුතුයි. මෙවැනි සොයා යෑමක දී කිසියම් පුද්ගලයකුට හමුවන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ම පමණයි. උන්වහන්සේ සීීලය විග‍්‍රහ කළ ආකාරය අනුව ම අපට උන්වහන්සේගේ ක‍්‍රියාව පිළිබඳ වටහා ගත හැකි යි.

ධනාත්මක චින්තනය අනුව බාහිර පියකරු බවට ම ලොල් වී කටයුතු කරන පුද්ගලයා මෙයින් තුරුණු වියේ දී අභිෂේක ලබන්නට පුළුවන්. මුළු ජීවිතේ ම ඇතැම් අය කැප කරන්නේ රූපය වෙනුවෙන්. ඒත් මේ පුද්ගලයා ක‍්‍රමයෙන් වයසට යෑමේ දී සිදුවන්නේ කුමක් ද?

තමා ගේ රූපය රැුක ගැනීමට මහත් වෙහෙසක් දැරූ පුද්ගලයා මෙවිට තමා ගැන ම කලකිරෙනවා. බිඳ වැටෙනවා. ඒත් මොහු සිය රූපය පිළිබඳ අවධානය පසෙක තිබිය දී තම ක‍්‍රියා සම්බන්ධ සුන්දරත්වය පිළිබඳ අධ්‍යයනයක සිටියා නම්, ඔහු වියපත්ව ඇඳේ වැතිර සිටියදීත් මේ සුන්දරත්වය අත්විඳිය හැකි යි.

ඉතින් මෙවැනි තත්ත්වයක් මනුෂ්‍යයාට ලබා දෙනවාට අකැමැති මක් නිසා ද? ජිවිතය පිළිබඳ අනවබෝධය ම යි මීට හේතුව, මිනිස් ජීවිතයට අර්ථයක් එක්කිරීමට නම්, අර්ථවත් දේ අවබෝධ කොටගෙන, සාක්ෂාත් කළ අයකුගේ මඟ පෙන්වීම යි වැදගත්. එවන් යමක් සාක්ෂාත් කෙළේ අප භාග්‍යවතුන් වහන්සේ යි. උන්වහන්සේ ගොඩ නැගූ සමාජය සාමකාමී, සැනසිලිදායක, සියල්ලන්ට ම හිමි එහෙත් පොදු වූවක්. මේ පරිසරයේදීයි බුද්ධ ශ‍්‍රාවකයන් අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වුණේ.

වර්තමාන සමස්ත ලෝකය ම බටහිර සමාජයේ ගොදුරක්. ඒ මතවාදවලට ගොදුරු වූ චරිත තමයි අප සමාජය මෙහෙයවන්නට සූදානමින් සිටින්නේ. බටහිරින් පැමිණි ධනාත්මක, ඍණාත්මක ආදී විවිධ චින්තන අන්ධානුකරණයෙන් වැළඳ ගන්නවා වෙනුවට (මේවා වැළඳගෙන ඒවා තම චින්තනයක් බවට පත් කරගෙන දුක් විඳිනු වෙනුවට* අප ස්වාධීන වීම යි වැදගත්. ඒ ස්වාධීනත්වයට අවශ්‍ය සියලූ කාරණා ධර්මයෙහි අන්තර්ගත යි. නුවණ, වීර්යය ගැන මෙතරම් කතා කළ වෙනත් දහමක් නැහැ. අපේ මුළුමහත් සමාජයට ම නැඟී සිටින්නට එය ම සෑහේ.

එම නිසා ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගිය ශ‍්‍රාවකයන් වන අප සියළු දෙනාටම ධර්මය තුලින් සුන්දර සිතක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගතකරන්නට වාසනාව ලැබේවා.

සියළු දෙනාට තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය!

By | 2016-12-24T13:00:50+00:00 December 24th, 2016|1 Comment

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

One Comment

  1. සුජී ගමරත්න December 29, 2016 at 4:41 pm

    පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනකත්වයෙන්..අන් සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාගේ හා සත්පුරුෂ පින්වතුන්ගේ උපකාරයෙන් ..විවිධ මංපෙත් හරහා බෙදා දෙන මේ දම් රසය විඳින්නට අප ද පින් කර ඇත්තෙමු..
    මෙි දම් රසය විඳින්නට මඟ විවර කර දුන් පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා…!
    අන් සියළු පින්වත් ස්වාමීන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වෙිවා…!
    ඒ භාග්‍යවතුන් වහන්සේගේ අමිල ශ්‍රර්‍ සද්ධර්මය මෙසේ විවිධ මංපෙත් හරහා බෙදාහරින්නට උපකාරවත් වන සියළු කළ්‍යාණ මිත්‍රයන්ට ද මෙි සියලු පින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම වෙිවා…!

    මෙි අමා දම් ගඟුල තවත් චිරාත් කාලයක් නොසිඳී ගලත්වා…!

    නමෝ බුද්ධාය!

Comments are closed.