නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 31

ඉවසන්න නිහතමානී වන්න
ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන් දර්ශනය වෙලා පවා තිබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අද එවැනි දේවල් දකින්නට, අසන්නට ලැබෙන්නේ නැහැ. තිසරණයේ බලවත් ලෙස පිහිටා සිටින පුද්ගලයෙකුට, දෙවියන්ගේ පිහිට අත්විදින්න පුළුවන්ද…? එදිනෙදා ජීවිතයේ එන ප්‍රශ්න, ගැටලු වලදී තිසරණයේ බලයේ පිහිට අප ලබා ගන්නේ කොහොමද…?

අසුර බලය පස්සේ දුවන්න සමහරු පෙලඹෙන්නේ, ඒ අයට අටලෝ දහමට මුහුණ දෙන්න බැරුවයි. ඒකට ඉවසීම අවශ්‍යයි. සාංසාරික වශයෙන් පිං උරුම නැති කෙනාට, තිසරණයෙන් පිහිටක් ගන්නත් අමාරුයි. ඒ විතරක් නෙමෙයි, මේ අසුර බලය පස්සේ දුවලා තමන්ගේ ඉදිරි සංසාරයත් සමහරු අවුල් කරගෙන ඉවරයි. කෙනෙක් මනාකොට තිසරණයේ පිහිටාගෙන, ගුණධර්ම රැකගෙන ධාර්මික ජීවිතයක් ගෙන යනවා කියලා අපි හිතමු. ඒ මතයි එයාට පිහිට තියෙන්නේ. මෙතැනදී ගුණ ධර්ම ඉතා වැදගත්. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරුන්ට මේ ලෝකයේ පුද්ගලයෝ එක්ක සම්බන්ධ වෙන්න නීත්‍යානුකුල සම්බන්ධයක් තියෙන්න ඕනේ… දෙවියන් සම්බන්ධ වෙන්නේ දිව්‍ය ගුණත් එක්කයි. මනුෂ්‍යයාට තියෙන්න ඕනේ දිව්‍ය ගුණ. එහෙම දිව්‍ය ගුණ තියෙන මනුස්සයා සමඟ දෙවියන් සම්බන්ධ වෙනවා. දිව්‍ය ගුණ පදනම් වෙලා තියෙන්නේ, ඉවසීමයි, නිහතමානීකමයි එක්ක. යමෙක් ඉවසන්නේ නැත්නම්, නිහතමානී නැත්නම් ඒ පුද්ගලයාට දිව්‍ය ගුණ ඇතිවෙන්නේ නැහැ. යම් අයෙකුට දිව්‍ය ගුණ පිහිටා තිබෙනවා නම් එයාට, දෙවියන්ගේ පිහිට ඉල්ල ඉල්ල ඉන්න දෙයක් නැහැ… එයාට දෙවි පිහිට නිකම්ම ලැබෙනවා.

කෝවිලකට ගිහිල්ලා බාරහාර වෙලා සමහරු බලාපොරොත්තු වෙන්නේ මේ දෙවි පිහිට… ඒ තැන්වලින් පිහිට ලැබිලා තමන්ගේ ප්‍රශ්න විසඳුනා කියලත් සමහරු කියනවා…

මේ තත්ත්වය සංකීර්ණයි. යමෙක් කෝවිලකට ගිහිල්ලා පිහිටක් ඉල්ලනවා. එයාගේ මිසදිටු ඥාතිවරයෙක් ඉන්නවා කියලා හිතමු. ඒ ඥාතිවරයාට අවස්ථාවක් තියෙනවා මෙයාට උදව් කරන්න. ඒ සඳහා ඥාතිවරයාට එන්න විදිහක් නැතුවයි ඉන්නේ. කෝවිලේ කැඹුරුමක් තමයි ඥාතිවරයාට තියෙන්නේ, මෙයා කෝවිලට ගිහිල්ලා මාලේ දාපු ගමන් ඥාතිවරයා උදව් කරනවා. කෝවිලේ දෙවියන්ගෙන් මට උදව් ලැබුණා, තිසරණයෙන් මට උදව් ලැබුණේ නැහැ කියලා එයා රැවටෙනවා. නමුත් උදව්ව ලැබුණේ ඥාතියාගේ කැඹුරුමකින්… ඒ සඳහා කොයි විදිහට, කොයි වෙලාවේ වන්දි ගෙවන්න වෙයිද කියලා එයා දන්නේ නැහැ. මේ නිසා දෙවියන්ගේ පිහිට ලබා ගන්න නම් ධර්මය පිහිට කරගෙන ඉවසීමෙන් තමන්ගේ ගමන යන්න ඕනේ. සමහරුන්ට මේ ඉවසීම නැහැ. අෂ්ට ලෝක ධර්මයට මුහුණදීම ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. ඒ සඳහා හොදට ඉවසලා පුරුදු වෙන්න ඕනේ. අනිත් එක උපායශීලි වෙන්න ඕනේ. කිසිදෙයක් එකපාරට ළඟට එන්නේ නැහැනේ…

මේ උපාය සහ ඉවසීම සඳහා මම හොඳ උදාහරණයක් දෙන්නම්. එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මට ප්‍රශ්න දිගටම එනකොට ඒ අම්මා කළේ පිරිත් කියන එක. දිගටම පිරිත් කියන්න ගත්තා. ඊට පස්සේ ඒ අම්මාගේ ප්‍රශ්න විසඳෙන්න ගත්තා. මම හිතන්නේ ඒ අම්මට දෙවි කෙනෙකුගේ උපකාරයක් ලැබෙන්න ඇති. ඒ අම්මා වෙන දෙයක් ගැන විශ්වාසය නොතබා ඒකම කරගෙන ගියා. ඒ අර්බුද කොඩිවිනයක් හරහා නාවොත් මේ විදිහට ජයගන්න පුළුවන්. නමුත් කොඩිවිනයකින් ඇතිවෙච්ච අර්බුදයක් නම් ඒක කපන්න ම වෙනවා. කොඩිවිනයක් කරනවා කියන්නේ මනුෂ්‍යයෙකුට හානි කරනවා කියන එකනේ… හානි කියන්නේ ඒ පුද්ගලයාගේ ධනය නැතිවෙනවා, සෞඛ්‍යය පිරිහෙනවා, කීර්තිය, යසස නැතිවෙනවා, මේ ඔක්කොම නැතිවුණාට පස්සේ තමයි සමහරු බලන්නේ මට මොකද වුණේ කියලා… ඊට පස්සේ හොයලා බලනකොට කොඩිවිනයක්. ඒක කපන්න ගියහම ලක්ෂ ගණන්වලින් සල්ලි ඉල්ලනවා. සමහරු ඒ වැඬේ කරන්න දන්නේ නැහැ, රැවටිලිකාර පිරිස්… එතකොට සිද්ධවෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක්. අන්තිමට ණය වෙලා, රස්සාවත් නැතිකරගෙන, පාරට ම වැටෙන්න වෙනවා. අද සමහරුන් අත් විඳින්නේ මේ වගේ දේවල්.

කොඩිවින කියන වචනය අහලා තිබුණාට, අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ කොඩිවින කියන දෙය ගැන හරියාකාරව දන්නේ නැහැ. ස්වාමීන් වහන්ස, මොනවද මේ කොඩිවින කියන්නේ…?

මමත් මේ වගේ දේවල් ගැන අහන්නේ අපේ වැඩසටහන්වලට බණ අහන්න එන, මන්ත්‍ර ශාස්ත්‍ර දන්න වයසක සීයලාගෙන්… “මොනවාද උපාසක මහත්තයෝ මේ කොඩිවින කියන්නේ…?” කියලා මම ඒ අයගෙන් අහලා බැලුවහම කියන්නේ, අමනුෂ්‍යයෝ බඳවාගෙන කරන වැඩ කියලා. අමනුෂ්‍යයින්ට අඬගහලා, ඒ අයට කන්න බොන්න දීලා, ඒ අයව බන්දගෙන, හානි කරන්න ඕනේ කරන කෙනාට දානවා. නීච චරිත තමන්ගේ වෛරය, ක්‍රෝධය පිරිමසා ගන්න ලෙහෙසි උත්තර හැටියට මේ වැඬේ කරනවා. අමනුෂ්‍යයෝ වැලි වලට බැඳෙනවා. කෙස් ගස් වලට, නුල්වලට, නමට බැඳෙනවා. මේවා තමයි කොඩිවින කියන්නේ. අපිට කොඩිවින වැදුනත් ඒක ලෙහෙසියෙන් නැති කරගන්න පුළුවන් අපිට ඉෂ්ඨ දේවතාවෙක් හිටියොත්. අපේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කොඩිවිනය ඇතිවෙලා ටික දවසකින් ඒක නැති කරගන්න මග අපිට කියලා දෙනවා. අපි දෙවියන්ට ප්‍රිය ගතිගුණවලින් යුක්ත නම් විතරයි අපිට ගැලවුමක් තියෙන්නේ. අසත්පුරුෂයාට ඉෂ්ඨ දේවතාවා පිහිටන්නේ නැහැ. අසත්පුරුෂයා කරන්නේ අසුර බලය නම්ම ගන්න එකයි. ඔහු විනාශ වෙන්නෙ ම ඒකෙන්.

කොඩිවින කරන මනුෂ්‍යයෙකුට කල්ප ලක්ෂ ගණනකට ආයෙත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ නැහැ. යතොත් නිරයේ එහෙම නැත්නම් සතර අපායේ තමයි. කොඩිවින කරන කෙනෙකුට සතර අපායෙන් තොර ගමනක් නැහැ.

ස්වාමීන් වහන්ස, දෙවිවරුන්ගේ කරුණාව, බැල්ම ධර්මානුකුලව සිටින පුද්ගලයාට ලැබෙන බව අපි අසා තිබෙනවා. ධර්මානුකුලව සිටිමින් මේ දේව කරුණාව ලබා ගන්නා ආකාරය පැහැදිලි කරදෙනවාද…?

අපට හරි පැහැදිලියි, බුද්ධ ශාසනයත් එක්ක දෙවිවරුන්ගේ සම්බන්ධයක් තියෙනවා ම යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේනේ. අපි ඉස්සර සැවැත් නුවර ගියාම පායන කාලය නිසා නව ජේතවනාරාමය කියන ලංකාරාම පන්සලේ බූරු ඇඳන් දාගෙන නිදාගන්නේ. සමහර දවස්වලට අපි සැතපිලා කතා කරමින් ඉන්නකොට අපට පේනවා හරියට එළි සැවැත් නුවර ජේතවනාරාමයට යනවා. ඒවාට උල්කාපාත කියලා කියන්න බෑ. උල්කාපාත නම් ජේතවනාරාමයට විතරක් වැටෙන්නේ කොහොමද? හරියට එළි වැටෙනවා. සමහර දවස්වලට අපි දහය, පහළොව, විස්ස ගණන් කරනවා. මට එක නායක ස්වාමීන් වහන්සේනමක් කිව්වා දවසක් උන්වහන්සේ පාන්දර තුනට විතර එළියට වඩද්දි දැක්කලු පෙට්‍රල් ලාම්පු එළියක් වගේ ලොකු එළියක් ගන්ධ කුටියේ ඉස්සරහා තියෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒ එළිය උඩට ගියා කිව්වා. ඒ වගේ එකක් මමත් ලංකාවේ දී දැක්කා. මට ධර්මය උගන්වපු උතුම් ස්වාමීන් වහන්සේනමක් වැඩසිටියා වලානේ අමතගවේසී කියලා. දවසක් උන්වහන්සේයි, මමයි පාන්දර ථූපාරාමයට යද්දී අපට වඩා මීටර් දෙකක් වගේ ඉහළින් එළියක් ගියා. එතකොට අමතගවේසී ස්වාමීන් වහන්සේ කිව්වා “ආන්න ඤාණානන්ද එළියක්..” කියලා. ඊට පස්සේ ඒක ටිකක් දුරක් ගිහිල්ලා නැතුව ගියා. එතකොට අපට පැහැදිලිව පේනවා, මේ ධර්මයට දෙවිවරු හරිම සම්බන්ධයි.

ඒ වගේ ම ධර්මයේ හැසිරෙන පිරිසත් එක්ක දෙවිවරු ගොඩක් සම්බන්ධයි. ඒ වගේ ම තිසරණයේ පිහිටලා හොඳට සීලාදී ගුණ රැකගෙන වාසය කළොත් එයාව ආරක්ෂා කරනවා කියලා දෙවිවරු පොරොන්දු වෙලා ඉන්නවානේ. ඒ විදිහට දෙවිවරුන්ගේ ගොඩක් සම්බන්ධකම් තියෙනවා. ඊ ළඟට ඔය එළි ගැන කතාකළොත් අපට ඒ සියලූ ම එළි දේවතා එළි කියලා කියන්න බෑ. මොකද, අපි දැකලා තියෙනවා, වෙනත් ආගම්වල අයගේ දේවස්ථානවලත් යම් යම් ආකාරයට ඔය වගේ එළි පෙනිලා තියෙනවා.

අපේ බුද්ධගයාවේ අසපුව තියෙන්නේ නේරංජනා ගඟ අයිනේ. මම ඉස්සර වෙලාම අසපුව හදන්න ඉඩමක් බලන්න ගියා. යනකොට ලස්සන අඹ ගස් දෙකක් තියෙනවා. මට මේ අඹ ගස් දෙකට හිත ගියා. මං ඒ එක අඹ ගහකට අත තියලා කිව්වා “මේකේ දෙවිවරු ඉන්නවා නම් මට මේ භූමිය ගන්න උදව් කරන්න” කියලා. ඉතින් ඉන්දියාව වගේ තැනක අපට ඒ වගේ දෙයක් කරන්න හරි අමාරුයිනේ. නමුත් නන්නාඳුනන රටක අපි කොහොම හරි ඒ ඉඩම අරගෙන අපේ ගොඩනැගිලිත් හැදුවා. දවසක් අපි මේ අඹ ගස්දෙක ෆොටෝ ගත්තා. ගන්න කොට එක අඹගහකින් එළියක් ආවා. ඒ අඹ ගහේ ඉන්නේ දෙවඟනක්. නළලින් පල්ලෙහාට තැල්ලක් ඇවිල්ලා කරාබු දෙකක් දාලා හිනාවෙලා ඉන්නවා. මේ ඔක්කොම ෆොටෝ එක ලොකු කළාම පේනවා.

සමහර අවස්ථාවල අපි සොහොනකට ගියාම මිනී පුච්චන තැනට ගිහිල්ලා එතැන ඡායාරූප ගත්තා. හැමතැන ම එළි. ඒවායින් අපි තේරුම් ගත්තා මේවාට දේවතාඑළි කියන විග්‍රහය ගත්තොත් ඒක සාර්ථක විග්‍රහයක් නෙවෙයි. මොකද, භූතයන්ගෙත් ඒවා පේනවා. ඒ නිසා මේක දෙවිවරුන්ට ම විතරක් තියෙන එකක් නෙවෙයි. මොකද, සොහොනකට ගිහිල්ලා මිනී පුච්චන තැනක ෆොටෝ එක්ක ගත්තාමත් එතැන දහස් ගාණක් එළි තියෙනවා. ඉතින් ඒ නිසා අපට ඒ එළි පිළිබඳව මේ දෙවිවරු ම යි කියලා එකපාරට විග්‍රහයක් කරන්න බෑ. හැබැයි, ඒ එළි පිළිබඳව යම්කිසි විග්‍රහයක් කරන්න පුළුවන්. ඒ සමහර එළි හරි දීප්තිමත්. අන්න එතකොට අපට හිතාගන්න පුළුවන් මේක නම් විශේෂ ආලෝකයක් කියලා.

රුවන්වැලි සෑයේ අපේ පින්කමේ දී එවැනි විශාල ආලෝකයක් තිබුණා. සෝමාවතියේ පින්කමේදීත් එහෙමයි. සෝමාවතියේ අපේ ඇස් ඉදිරිපිට බුදුරැස් පවා විහිදෙනවානේ. ඉතින් ඒ නිසා මේ වගේ එකක් ලෝකයේ තියෙනවා කොටින්ම අපි යහපත් දෙයක් කරනවා නම්, හොඳ දෙයක් කරනවා නම් එහෙම දෙයක් තියෙනවා. මං හිතන්නේ ඒ දේවල් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ක්‍රියාවට තියෙන එකක් කියලයි.

අද අමනුෂ්‍ය ග්‍රහණය බලවත්. සමහර අය අවසාන මොහොතේ නිකන් තෝන්තුවෙන් වගේ කියනවා “අන්න අසවලා ආවා.. අන්න පුංචි අම්මා ආවා… මට අඬගහනවා..” කියලා. මේ වගේ දොඩවනවා. එතකොට ගෙදර අය මේක විහිලුවට ගන්න හොඳ නෑ. ඒ වෙලාවට එයාගේ ඔලුවට අත තියලා කියන්න ඕන “එහෙම නම් අම්මාව බුදුරජාණන් වහන්සේට භාරයි, ධර්මරත්නයට භාරයි, සංඝරත්නයට භාරයි. ගෞතම ශාසනය කෙරෙහි සිත් පහන් වූ සම්‍යයක් දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව අම්මාට ලැබේවා..” කියලා. එතකොට අර විදිහට යම් බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑම බයවෙනවා, එයාව දැක්කා කියලා. මොකද, ඒගොල්ලෝ ගොඩාක් ළංවෙන්නේ ඒ අයව අපට පේන්නේ නෑ කියලා හිතලයි. කවුරු හරි කෙනෙක් එකපාරට කිව්වොත් “එහෙම කරන්න එපා..” කියලා එතකොට ඒ අය හිතනවා අපිව දැක්කා කියලා. එතකොට ඒගොල්ලෝ මග හරිනවා. ඒ වගේ දේවල් හරි පුදුම විදිහට තියෙනවා. සමහර අමනුෂ්‍යයෝ මිනිස්සු කන බොන දේවල්වල රසය උරා ගන්නවා. තවත් සමහර අමනුෂ්‍යයෝ මිනිස්සුන්ගේ ඇඟවලට රිංගලා ඇඟවල්වල ඉඳලා ජීවත් වෙනවා.

ඒකෙන් අපට එකක් තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි මේ සියල්ල අනාත්මයි කියලා. ඒ කියන්නේ මේ අපේ ශරීරයේ යම්කිසි ශක්ති සම්පන්නභාවයක් තිබුණා නම් එහෙම වෙන්නේ නෑනේ. එච්චර ඕන නෑ, එක්ස්රේ එකකට පුළුවන්නේ මේ ශරීරය හරහා යන්න. ඒ වගේ මේ ශරීර හරහා යන්න භූතයන්ට පුළුවන්. හැබැයි, අපේ පින් බලයෙන් තමයි අපි ආරක්ෂා වෙන්නේ.

බුද්ධ දේශනාවේ තියෙනවා අපට ශරීර තුනක් තියෙනවා කියලා. එකක් මේ භෞතික ශරීරය. අනිත් එක මානසික ශරීරය. අනිත් එක සඤ්ඤාමය ශරීරය. සමහර අයගේ කර්මානුරූපව මානසික ශරීරයේ සිදුරු තියෙනවා. භූතයන්ට ගොඩක් වෙලාවට පේන්නේ මේ භෞතික ශරීරය නෙවෙයි, මානසික ශරීරයයි. ඒකයි ගොඩක් භූතයෝ බණ භාවනා කරන අයට කරදර කරන්නේ. මොකද, බණ භාවනා කරන කොට එයා මනස එකඟ කරනවානේ. ඒ විදිහට එකඟ කරන කොට එයාට තමන්ගේ බලය පවත්වන්න බැරුව යනවා. එතකොට භූතයා කරදර කරනවා. අපි ගත්තොත් එයාගේ ඤාති දරුවෙක් පාරේ යනවා කියමු. යනකොට මේ භූතයා එකපාරට හඳුනාගන්නවා “මේ ඤාතියා..” කියලා. හඳුනාගෙන එයා පස්සෙන් යනවා. එයාගේ මානසික ශරීරයේ සිදුරක් තියෙනවා නම් එතැනින් ඇඟට රිංගනවා. ඒ සිදුර හැදෙන්නේ කර්මානුරූපව. සමහරු භූතදෝෂවලින් දුක් විඳිනවා, සමහරු එහෙම භූත දෝෂවලින් දුක් විඳින්නේ නෑ. ඒ කියන්නේ සමහරුන්ට එහෙම දෙයක් නෑ. ඒ නිසා සමහරු ඒක විශ්වාස කරන්නේ නෑ. “කොවුර්” වගේ මහත්මයෙක් ඒක විශ්වාස කළේ ම නෑ. එතුමා භූතයෝ වැහුණු තැන්වලට යනකොට භූතයා යනවා. එයාත් එක්ක කතා කරන කොට භූතයෙක් නෑ. ඒ නිසා එතුමා කියනවා “මේක රෝගයක් මිසක් එහෙම එක්ක නෙවෙයි..” කියලා.

නමුත් අපට හරි පැහැදිලියි, සමහර විට වෛද්‍යවරු ම බෙහෙත් කරලා කරලා කියනවා “අපට මේ රෝගය හොයාගන්න බෑ, වෙන ක්‍රමයකින්වත් ඕක සනීප කරන්න පුළුවන් ද කියලා බලන්න” කියලා. සමහර විට බෝධි පූජා තියලා පිරිත් කියලා බණ භාවනා කරනකොට අර රෝගය සනීප වෙනවා. ඒ මොකද, භූත කරදරයක් නිසා නම් එයා රෝගීවුණේ ඒ භූත කරදරේ අයින් වුණාම එයා නිකන්ම සනීප වෙනවා. ඒ වගේ ම මිනිස්සුන්ට අණවින කොඩිවින බන්ධන හදි හූනියම් ආදි දේවල් කරනවානේ. එහෙම එකක් ලෝකයේ තියෙනවානේ. මේක හරිම පාපයක්. විශාල පාපයක්. ඒ කියන්නේ ඒ අමනුෂ්‍යයන්ව නොමඟ යවලා අමනුෂ්‍යයන් ලවා කරවන වැඩ. බාල වර්ගයේ අමනුෂ්‍යයෙක් වෙලා උපදින්නේ ම එයාගේ චරිත පරිහානියක් නිසානේ. එතකොට ඒ කෙනාගේ රුචිකත්වයට වුවමනා කරන පොඩි පොඩි දේවල් දීලා “අරයා මරපන්.. මෙයට හිංසා කරපන්..” කියලා කියනවා.

එහෙම කරන්න පුළුවන්. මේක විශාල පාපයක්. පින් පව් විශ්වාස කරන කෙනෙකුට නම් මේක කරන්න බෑ. මම ඒකයි කිව්වේ අපි ඉස්සර වෙලාම සත්පුරුෂයෙක් වෙන්න ඕන කියලා. සත්පුරුෂයෙක් නම් කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නෑ.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

By | 2017-05-22T12:44:55+00:00 May 4th, 2017|0 Comments

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

Leave A Comment