නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්‌ – 45
අපායේ දොරටුව සදහටම වසන්න

අපේ ජීවිතයේ තීරණාත්මක දෙය වෙන්න ඕන අපේ අවබෝධයයි. ඔබට මතකද පින්වතුනි, මීට කලින් ලිපියේදී කරුණු දෙකක්‌ විස්‌තර කරන්න මා උත්සාහ ගත්තා. ඒ තමයි පිනත්, අවබෝධයත්. මා හිතනවා මේ කාරණයේදී පින ගැන මං යම්කිසි ප්‍රමාණයකට විස්‌තර කළා. හැබැයි අවබෝධය ගැන මට හරියට කියන්න ලැබුණේ නෑ.

අවබෝධ කිරීම ගැන අපි දැන සිටීම හරි ප්‍රයෝජනයි. මොකද හේතුව, අපට මේ ජීවිතයේ වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ අවබෝධය ඇති කරන දේ නෙවෙයි. වසඟ කරන දේයි. අපි ටීවී එක බැලුවත්, අපව ඒකට වසඟ වෙනවා. අපි ගීතයක්‌ ඇහුවත් ඒකට වසඟ වෙනවා. අපි කෙනෙකුව දැක්‌කත් එයාට වසඟ වෙනවා. අපි ක්‍රීඩාවක්‌ බැලුවත් වසඟ වෙනවා. ඇඳුමක්‌ ලස්‌සනට දැක්‌කත් වසඟ වෙනවා. එහෙනම් අපට වසඟ වෙන්න තියෙන අරමුණු හරියට තියෙනවා. අවබෝධ කරන්න දෙයක්‌ තමයි නැත්තේ.

බුද්ධිමත් මනුස්‌සයන් හැටියට අපට අවබෝධ කරන්න දෙයක්‌, අවබෝධය වීම පිණිස උපකාර වන දෙයක්‌ යම්කිසි ප්‍රමාණයකට හරි දැන කියාගන්න ලැබුණොත් ඒක අපට ඉතාමත්ම ප්‍රයෝජනයි. මොකද හේතුව, අපට කවදාවත් අවබෝධ කරගන්නේ නැතුව මේකෙන් එතෙර වෙන්න බෑ, සතර අපායෙන් මිදෙන්න බෑ. ඔබ මුළු ජීවිත කාලයම සුදු ඇඳගෙන ඉන්නවා කියන්න. මං මුළු ජීවිත කාලයම මහණ වෙලා ඉන්නවා කියමු. අපි දෙගොල්ලන්ටම අවබෝධ කරන්නේ නැතුව සතර අපායෙන් එතෙර වෙන්න පුළුවන් වේවිද? බෑ.

හොඳම උදාහරණය තමයි අර කපිල මාළුවාගේ කතාව. අචිරවතී ගඟේ රත්තරන් පාට මාළුවෙක්‌ ඇල්ලුවා. ඒ ළමයි කතාවුණා, මේ මාළුවා අපි රඡ්ජුරුවන්ට ගිහිල්ලා පෙන්නමු. විශාල රත්තරන් පාට මාළුවෙක්‌) රඡ්ජුරුවෝ මේ මාළුවා දිහා බලලා අපට තෑගි දෙයි කියලා. ඉතින් මේ ළමයි ටැංකියක්‌ හදාගෙන, මාළුවාවත් දාගෙන කොසොල් රඡ්ජුරුවෝ ගාවට උස්‌සගෙන ගියා. ඒ වෙනකොට රඡ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් හිටියා. රඡ්ජුරුවෝ කිව්වා බොහොම හොඳයි. බොහොම අපූරු මාළුවෙක්‌ අපි මේ මාළුවා ඡේතවනාරාමයට අරගෙන යමු. ගිහින් බුදුරජාණන් වහන්සේට පෙන්නමු.

බුදුරජාණන් වහන්සේ ළඟට මාළුවා අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේට කිව්වා,

ස්‌වාමීනී, මේ බලන්න. හරි ලස්‌සන රන්වන් පාට විශාල මාළුවෙක්‌. මේ බලන්න මේ මාළුවා දිලිසෙන ලස්‌සන. අපූරු මාළුවෙක්‌. මේ ඔබවහන්සේට පෙන්නන්න ගෙනාවා.

බුදුරජාණන් වහන්සේ මේ මාළුවා අඳුනගත්තා. මේ මාළුවා කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහණ වෙලා හිටිය භික්‌ෂුවක්‌. බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා මේ කවුද කියලා.

(ආ) මේ කපිලනේ

ඊට පස්‌සේ බුදුරජාණන් වහන්සේ අර ළමයින්ටයි, රඡ්ජුරුවන්ටයි කිව්වා,

“අපි මේ මාළුවාගෙන් අහමු.”

උන්වහන්සේගේ සෘද්ධි බලයෙන් මාළුවාට කතා කරන්න සැලැස්‌සුවා. සලස්‌වලා බුදුරජාණන් වහන්සේ මාළුවාගෙන් ඇහුවා,

(මාළුවෝ) නුඹ කලින් ජීවිතයේ කොහෙද හිටියේ)?

මං කලින් මනුස්‌සයෙක්‌.

ඒ කාලේ නුඹේ නම මොකක්‌ද?

“ඒ කාලේ මගේ නම “කපිල”

“නුඹේ පවුලේ කී දෙනෙක්‌ හිටියද?”

“අම්මා හිටියා, නංගි හිටියා, අයියා හිටියා”

“අයියා මොකද කළේ?”

“අයියා මහණ වුණා.”

“නුඹ”

“¨මාත් මහණ වුණා.”

“අම්මා?”

“අම්මා භික්‌ෂුණියක්‌ වුණා.”

“නංගි?”

“නංගිත් භික්‌ෂුණියක්‌ වුණා.”

එහෙනම් මේ පවුලම මහණ වෙලා. ඊට පස්‌සේ බුදුරජාණන් වහන්සේ මාළුවාගෙන් අහනවා,

“මාළුවෝ. අයියට මොකද වුණේ”?

“අයියා බොහෝම හොඳයි.” මොකද වුණේ?

“අයියා පිරිනිවන් පෑවා”

“එහෙනම් අයියට රහත් වෙන්න වාසනාව ලැබුණා. අම්මටයි, නංගිටයි මොකද වුණේ?”

මාළුවා දැන් කතා නෑ. ආයෙත් ඇහුවා.

“මාළුවෝ අම්මටයි, නංගිටයි මොකද වුණේ?”

කතා නෑ. මාළුවාට කිව්වා,

“කියන්න”

“අම්මයි, නංගියි දැන් ඉන්නේ නිරයේ.”

“¨මාළුවෝ. මේ ජීවිතයෙන් පස්‌සේ නුඹට මොකද වෙන්නේ?”

“¨මමත් නිරයේ”

ඊට පස්‌සේ මාළුවාට කම්පනයක්‌ ඇතිවෙලා ටැංකියේ බඳේ ඔළුව ගහගෙන මැරුණා. නිරයේ උපන්නා.

බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට කිව්වා මේ බලන්න, අවබෝධ නොකිරීම. මොකක්‌ අවබෝධ නොකිරීමද? චතුරාර්ය සත්‍යය.”

පින්වත්නි, අපි “ආර්ය ශ්‍රාවකයෝ” කියනවා “ආර්ය සත්‍යය” කියනවා මොකක්‌ද මේ ආර්ය සත්‍යය කියන්නේ? ලෝකයේ විමුක්‌තිය සාක්‌ෂාත් කළ ශේ්‍රෂ්ඨ වූ බුදු, පසේබුදු, මහරහතුන් අවබෝධ කරන්නා වූ සත්‍යය නිසයි එයට ආර්ය සත්‍යය කියලා කියන්නේ. අපිත් ඒ ආර්ය සත්‍යය අවබෝධ කළොත් අපිත් ආර්ය ශ්‍රාවකයෝ බවට පත්වෙනවා. ඒ ආර්ය සත්‍යය දේශනා කළ බුදුරජාණන් වහන්සේ සරණ ගියාම අපිත් ආර්ය ශ්‍රාවකයෝ වෙනවා. අන්න ඒ ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම තමයි අපේ ජීවිතයට විශේෂයෙන්ම උපකාරී වෙන්නේ. ඒ ආර්ය සත්‍යය අපේ ජීවිතයට හරි වටිනවා. දෙවියන්ට වටිනවා. මිනිසුන්ට වටිනවා. දෙවියොත් මේ ධර්මය අවබෝධ කරගන්න කැමතියි. මිනිස්‌සුත් මේ ධර්මය අවබෝධ කරගන්න කැමතියි. මේ ධර්මය අවබෝධ කරගන්න අපටත් අවස්‌ථාවක්‌ ලැබුණොත්, ආර්ය සත්‍ය අපිත් අවබෝධ කළොත්, අපට තියෙන ලොකුම වාසිය තමයි, මොන විදිහේ අනතුරකින් මළත් අපට කිසිම විදිහේ ප්‍රශ්නයක්‌ නෑ.

ආර්ය සත්‍යය අවබෝධ කළොත් අපි නිරයේ යන්නේ නෑ. ප්‍රේත ලෝකයේ යන්නේ නෑ. තිරිසන් අපායේ යන්නේ නෑ. එහෙම නම් අපට තිබෙන සැබෑම ආරක්‌ෂාව තමයි ආර්ය සත්‍යය අවබෝධ කිරීම.

පින්වතුනි, මේ ආර්ය සත්‍යය තියෙන්නේ මේ ආකාසයේ නොවෙයි. ගස්‌කොළන්වල නොවෙයි. මේ කැලෑ, හෙල්, සාගරවල නෙවෙයි. මේ ආර්ය සත්‍යය තියෙන්නේ අප තුළමයි. අපි බුද්ධිමත් වුණොත් මේ ආර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන්.

අපි මොහොතක්‌ කල්පනා කරමු. දැන් ඔන්න අපි පිට්‌ටනියක වාඩිවෙලා ඉන්නවා කියමු. අහසෙන් හෙවණක්‌ දුන්නොත් මිසක්‌ අපට හෙවණක්‌ නෑ. එතකොට මේ ගස්‌කොළන් දැක්‌කාම මිනිස්‌සු හරි ආසයි. ගස්‌කොළන් හරි ලස්‌සනයි. ගලාගෙන යන දිය ඇලි තියෙනවා. දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,

“ස්‌වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ, මේ පොළොවේ ලස්‌සන තැන් තියෙනවාද?”

බුදුරජාණන් වහන්සේ වදාළා,

“ලස්‌සන තැන් තියෙනවා තමයි. ලස්‌සන වනාන්තර, ලස්‌සන ඇළ දොළ, ලස්‌සන ගංගා) හැබැයි මීට වඩා ලස්‌සනයි, ජීවිතාවබෝධය කරපු අය ඉන්න තැන. ඒක නගරයේ වුණත් කමක්‌ නෑ. ගමේ වුණත් කමක්‌ නෑ. ගස්‌ නැති තැන වුණත් කමක්‌ නෑ” කියලා.

දැන් මෙතැන ගස්‌ නැති වුණාට අපි ඔක්‌කෝම අද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලස්‌සන දෙයක්‌ අහන්නේ. ජීවිතාවබෝධය ලබන්න පුළුවන් දෙයක්‌ අසන්නේ. ඒ ආර්ය සත්‍යය කවදාවත් වෙනස්‌ වෙන්නේ නෑ. ඒ වෙනස්‌ නොවෙන ආර්ය සත්‍යය දැන් අපි ඉගෙන ගනිමු.

බුදුරජාණන් වහන්සේ වදාළා ඉපදුණු තැන ඉඳලා මේක ඉගෙන ගන්න පටන් ගන්න කියලා. ඉපදුණු තැන ඉඳලයි පටන් ගන්න කිව්වේ. දැන් අපි බලමු ඉපදුණු තැන. ඉපදෙන්න තැන් ගොඩක්‌ තියෙනවනේ. නිරය තියෙනවා, තිරිසන් ලෝකය තියෙනවා, ප්‍රේත ලෝකය තියෙනවා, අසුර ලෝකය තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, මනුස්‌ස ලෝකය තියෙනවා.

දැන් මේ ලෝක අතරින් මේ ජීවිතයේ අපි වැටුණේ කොයි ලෝකයටද? මනුස්‌ස ලෝකයට. කොහොමද අපි මනුෂ්‍ය ලෝකයට වැටුණේ කියන කාරණාව අපි දෙවනුව කතා කරලා, අපි වැටුණු මනුස්‌ස ලෝකයේ අපට උරුම වූ දේවල් ගැන බලමු.

දැන් මනුස්‌ස ලෝකයේ මිනිස්‌ දරුවෙක්‌ හැටියට අපි ඉපදෙන කොටම අපට ඇස්‌ දෙකක්‌ ලැබුණා. දැන් අපි ඒ ඇස්‌ දෙක පාවිච්චි කරනවා. මිනිස්‌ දරුවෙක්‌ හැටියට අපි උපදින කොට අපට කන් දෙකක්‌ ලැබුණා. අපි දැන් ඒ කන් දෙක පාවිච්චි කරනවා. මිනිස්‌ දරුවෙක්‌ හැටියට ඉපදෙන කොට නාසයක්‌ ලැබුණා. අපි ඒ නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරනවා. මිනිස්‌ දරුවෙක්‌ හැටියට අපි උපදින කොට අපට දිවක්‌ ලැබුණා. අපි ඒ දිව ආහාර අනුභව කිරීමට, කතා බස්‌ කිරීමට පාවිච්චි කරනවා. රස විඳීමට පාවිච්චි කරනවා. මිනිස්‌ දරුවෙක්‌ හැටියට අපි උපදින කොට ශරීරයක්‌ ලැබුණා. මේ ශරීරය අපි ක්‍රියාවන් කරන්න පාවිච්චි කරනවා. මිනිස්‌ දරුවෙක්‌ හැටියට අපට මනසක්‌ ලැබුණා. අපි දැන් මනසත් පාවිච්චි කරනවා.

මිනිස්‌ ලෝකයට ඇවිල්ලා අපි පාවිච්චි කරන්නේ ඔය හයනේ. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. අපි මේ හය පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ හය දුකට අයිතියි කියලා. අපට මේක තේරුම් ගන්න බෑනේ. දුකට අයිතියි කියන කාරණය අපට තේරෙන්නේ නෑ. අපට තේරෙන්නේ මේ හය දුකට අයිතියි කියලා නෙවෙයි, “මට අයිතියි” කියලයි. එහෙම නෙවෙයිද වෙන්නේ?

මේ ඇස, කන, නාසය, දිව, කය, මනස දුකට අයිති දෙයක්‌ හැටියටද අපි හඳුනගෙන ඉන්නේ? මට අයිති දෙයක්‌ හැටියටද? තමාට අයිති දෙයක්‌ හැටියටනේ. මේකයි අපේ ප්‍රශ්නය. මේක තමාට අයිති දෙයක්‌ හැටියට පිළිගත්තේ ඇයි? අපි තාම මේක අපට අයිති දෙයක්‌ විදිහට තෝරගෙන ඉන්නේ ඇයි? ඒ අපට මේක දුකට අයිති දෙයක්‌ කියලා අවබෝධ වුණේ නැති නිසයි.

මේ නිසා අපි බලමු මේකෙ තියෙන්නේ දුකට අයිති දෙයක තියෙන ලක්‌ෂණද, මට අයිති දෙයක තියෙන ලක්‌ෂණ ද කියලා. මට අයිති දෙයක්‌ නම් මොකක්‌ද තියෙන්නෙ ඕන ලක්‌ෂණය? මට ඕන හැටියට පවත්වන්න පුළුවන් වෙන්න ඕන.

දැන් බලන්න “ඇහෙන් මට ප්‍රිය මනාප රූප විතරක්‌ පෙනේවා අප්‍රිය අමනාප රූප බලන්න නොලැබේවා” කියලා ලබන්න පුළුවන්ද? බෑ. “කණෙන් මිහිරි දේවල් පමණක්‌ ඇසේවා, අමිහිරි දේවල් නොඇසේවා” කියලා ලබන්න පුළුවන්ද? බෑ. “නාසයෙන් මට සුවඳ විතරක්‌ දැනේවා, අප්‍රිය අමනාප දුගඳ මගේ නාසයට නොලැබේවා”¨ කියලා ලබන්න පුළුවන්ද? බෑ. “දිවෙන් මට රස විතරක්‌ ලැබේවා, නීරස දේවල් නොදැනේවා” කියලා ලබන්න බෑ. “ශරීරයට මං කැමති පහස විතරක්‌ ලැබේවා, අකැමැති පහස නොලැබේවා” කියලා ලබන්න පුළුවන්ද? බෑ. “මනසට මට සතුට හිතෙන දේ පමණක්‌ සිතේවා, දුක සිතෙන දේ නොසිතේවා, කියලා ලබන්න පුළුවන්ද?” බෑනේ.

එහෙනම් මේකේ “මම” කියලා හිතුවට තියෙන්නේ මට ඕන දේ ලැබෙන්නේ නැති එකක්‌. එතකොට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ හයෙන් යුක්‌ත අපේ ජීවිතයේ අපි අකැමැති දේවල් ලැබෙන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස ඉපදීම දුකයි කියලා.

දැන් ඔන්න අපට ඒ දුක ලැබුණා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා, මේකෙ අපට තියෙන ඊළඟ ප්‍රශ්නය. ඒ තමයි අපි නාකි වෙනවා. (ජරාපි දුක්‌ඛා) නාකිවෙන ඒක වළක්‌වන්න පුළුවන් කෙනෙක්‌ නෑනේ. අනික තමන් නාකිවෙලා යනකම්ම මේක හොයන්නත් බෑ. ඒකයි මේකේ පුදුම දෙය. දවසට දෙකට මේක හොයන්න බෑ. දන්නෙම නෑ ක්‍රමක්‍ර්‍රමයෙන් අපේ ඇඟ රැළි වැටිලා, කොණ්‌ඩේ ඉදිලා, ඇඟේ මවිල් ඉදිලා, මේ දත් වැටිලා, ඇස්‌ පෙනීම අඩුවෙලා යනවා. කණ්‌ ඇසීම අඩුවෙලා යනවා. කාපු දේවල් දිරවගන්න බැරුව යනවා. ඊළඟට ශරීරය දුර්වල වෙනවා. මෙහෙ අඩිය තියන කොට අරහෙ විසිවෙනවා. එහෙම යුගයක්‌ එනවනේ. මේක අපට වළක්‌වන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා ජරාවට පත්වීමේ දුක, ඉපදීමේ දුකත් සමඟ තියෙනවා කියලා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා “ලෙඩ වීම දුකයි” කියලා. එතකොට ලෙඩ වෙන්නේ බාහිර දෙයක්‌ද? මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේවද? ඇසත් ලෙඩ වෙනවා. කනත් ලෙඩ වෙනවා. නාසයත් ලෙඩ වෙනවා. දිවත් ලෙඩ වෙනවා. ශරීරයත් ලෙඩ වෙනවා. මනසත් ලෙඩ වෙනවා.

මට හොඳට මතකයි, දවසක්‌ මං ගියා එක ලෙඩෙක්‌ බලන්න. බැංකුවක වැඩකරන නෝනා කෙනෙක්‌. මේ නෝනට ඇහේ පිළිකාවක්‌ හැදිලා. ඇහේ පිළිකාව හැදිලා උඩුදුවලා උගුරටම ගිහින්. දැන් එයාට උගුරේ සිදුරක්‌ හදලා ඒ සිදුරෙන් පුනීලයකින් බටයක්‌ දාලා යුෂ වර්ග වත්කරනවා. කන්න බෑ, කතා කරන්නත් බෑ. හැබැයි කන් ඇහෙනවා.

හරි දුක හිතෙන දෙයක්‌ වුණා. අවුරුදු තිස්‌පහක විතර කෙනෙක්‌. පොඩි දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. ඒ ගොල්ලෝ මාව එක්‌කරගෙන ගියා. මං ඉතින් ගිහිල්ලා ධර්ම කරුණු කිව්වා. අපි පිරිත් කියලා ඉවර වුණාම අර ලෙඩේ හැදුණු නෝනා “පොඩ්ඩක්‌ ඉන්න” කියලා එයාගේ යාළු නෝනා කෙනෙකුට පොඩි තුණ්‌ඩු කෑල්ලක්‌ ඉක්‌මනට ලියලා දුන්නා. දෙන්නම ඉස්‌කෝලෙ ගිහින් තියෙන්නේ එකට. ඒක දැකලා එයාට හරි වේදනාවක්‌ ආවා. ඒ තුණ්‌ඩු කෑල්ලේ තිබුණේ “අනේ, මට පොළොස්‌ ඇඹුලක්‌ ගෙනත් දෙන්න” කියලයි. මට දුක හිතුණේ එතැන.

දැන් මෙයාට පුළුවන්ද මේක කන්න. දැන් ජීවත්වෙලා ඉඳිද්දිම දිව මැරිලා, ජීවත්වෙලා ඉඳිද්දිම ඇහැක්‌ මැරිලා, එතකොට බලන්න මම කල්පනා කළා අවබෝධයක්‌ නැති ජීවිතයක්‌ අපි පවත්වන කොට අපේ අන්ත අසරණකම අපටවත් හොයාගන්න බෑ. අපටවත් තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ ඉපදීම වගේම ලෙඩවීමත් දුකයි කියලා.

ලෙඩ වුණොත් ලෙඩවෙන්නේ ඇහැ. එක්‌කෝ ලෙඩ වෙන්නේ කණ. එහෙමත් නැත්නම් ලෙඩ වෙන්නේ නාසය. එහෙමත් නැත්නම් ලෙඩ වෙන්නේ දිව. එහෙමත් නැත්නම් ලෙඩ වෙන්නේ ශරීරය. සමහර අයගේ මේ පහම ලෙඩ නොවී මනස ලෙඩ වෙනවා. මනස ලෙඩ වුණාම මේ පහෙන් කිසිම වැඩක්‌ නෑනේ.

ඉතින් මේ නිසා ඉපදුණු දේකට උරුම වූ දේ අපට ඕනම වෙලාවක ලැබෙන්න පුළුවන්. ඉපදුණු දේට උරුම දේ තමයි වයසට යැම. අපට ඒක දැන් ලැබෙමින් තියෙනවා. ඉපදුණු දේකට උරුම වූ දේ ලෙඩවීම. ඉතින් ඒකටත් අනිවාර්යයෙන්ම අපි මුහුණ දෙන්න ඕන. ඉපදුණු දේකට උරුම වූ ඊළඟ එක (මරණම්පි දුක්‌ඛං) මරණයයි. ඒකටත් අපි මුහුණ දෙන්න ඕන.

ලෝකයේ කිසිම දවසක කාටවත් කියලා, කාටවත් අල්ලසක්‌ දීලා, පින්සෙණ්‌ඩු වෙලා, යාඤ්චා කරලා අපට කවදාවත් මේවායින් මඟහරින්න බෑ. මුහුණ දෙන්න වෙනවා. අපි කොච්චර අකැමැති වුණත් අපට මරණයට මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණයත් දුකයි කියලා. බලන්න මේ මිනිස්‌සු මැරෙන විදිහ. එක එක විදිහට මැරෙනවා.

දැන් අපේ දායක පවුලක මේ ළඟදී මරණයක්‌ වුණා. පොඩි පුතාට වයස අවුරුදු දෙකයි. ඊළඟ පුතාට වයස අවුරුදු නවයයි. දුවලා දෙන්නෙක්‌ ඉන්නවා. එක්‌කෙනෙකුට වයස අවුරුදු දහනවයයි. අනෙක්‌ කෙනාට විසිඑකයි. කවුරුත් බැඳලත් නෑ. තාත්තා ඉන්නවා. අම්මා මේ පොඩි පුතාට බනිස්‌ ගෙඩියක්‌ ගේන්න කඩේට ගියා. පාර අයිනේ ඉන්නේ. අල්ලපු වැටේ බේකරිය. බේකරියට ගියා. ගිහිල්ලා බනිස්‌ ගෙඩියක්‌ අරගෙන එනකොට වාහනකාරයෙක්‌ හප්පගෙන ගියා. වෙලාව කියන්නේ හැප්පෙනකොට මෙයා මුනින් අතට වැටුණා. එතැන මඩවලක්‌ තිබුණා. මූණ මඩේ ඇණුනා. වාහනකාරයා නැවැත්තුවා නම්, උස්‌සලා අරගෙන බේරන්න තිබුණා. වාහනකාරයා බයටත් එක්‌ක ගියා. පැයක්‌ එතැන. කවුරුත් දන්නේ නෑ.

මං එතකොට කොළඹ හිටියේ. අවසන් කටයුතු ඔක්‌කොම ඉවරයි. මං බලන්න ගියා. දූලා දෙන්නා, පොඩි පුතා, අවුරුදු දෙකේ ළමයා මේ ඔක්‌කෝම ඉඳිද්දී අම්මා මැරුණා. මේ ළමයි බලාගත්තු අත බලාගෙන ඉන්නවා. මං තේරුම් කරලා දුන්නා “මේ අපේ ජීවිතයේ පොදු දෙයක්‌. මේකට කඩා වැටෙන්න එපා, අපි මේක අවබෝධ කරගෙන, මේකට මුහුණ දෙමු. වෙන කරන්න දෙයක්‌ නෑ” කියලා.

මරණය කියන එක අවබෝධයක්‌ නැති ජීවිතයට එන්නේ දුකත් සමඟයි. මේ ඇස අනිත්‍යය වූ දෙයක්‌, මේ කන අනිත්‍ය වූ දෙයක්‌, මේ නාසය අනිත්‍ය වූ දෙයක්‌. මේ දිව අනිත්‍ය වූ දෙයක්‌, මේ කය අනිත්‍ය වූ දෙයක්‌. මේ මනස අනිත්‍ය වූ දෙයක්‌ කියලා අවබෝධයක්‌ තිබ්බා නම් මීට වෙනස්‌ දෙයක්‌ වෙනවා.

මතු සම්බන්ධයි

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර 

By | 2017-07-17T11:17:43+00:00 July 17th, 2017|0 Comments

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

Leave A Comment