නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක්‌ – 46
බය නැති මරණයක්‌

ඔබ දන්නවා ඇති අධිමුත්ත කියලා එක පොඩි රහතන් වහන්සේ නමක්‌ වනාන්තරයෙන් යද්දී හොරු කට්‌ටියක්‌ මේ පොඩිනම අල්ලගෙන බිල්ලට දෙන්න ගියා. අරගෙන ගියාට පස්‌සේ මේ පොඩිනමට කිසිම බියක්‌, තැති ගැනීමක්‌, කලබලයක්‌ මොකුත් නෑ. සිනහමුසු මුහුණින් ඉන්නවා. දැන් මේ හොරුන්ට මේක හරි ප්‍රශ්නයක්‌. මේ හොරු අහනවා,

“හරි පුදුමයි අපට. අපි මෙතෙන්ට බිලි පූජා දෙන්න ඇමැතිවරු අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. නිලධාරීන් අල්ලන් ඇවිල්ලා තියෙනවා. කෝටිපති සිටුවරු අල්ලන් ඇවිල්ලා තියෙනවා. මේ සෑම කෙනෙක්‌ම අපි ඉස්‌සරහා දණ ගහගෙන අත්දෙක උස්‌සලා ජීවිතය ඉල්ලලා යාතිකා කරනවා. ජීවත් කරන්න කියලා ඉල්ලනවා. නුඹ පුදුම කෙනෙක්‌. නුඹ පොඩි දරුවෙක්‌. නුඹට ගානක්‌වත් නෑ. මොකද මේ.?” කියලා අහනවා.

ඒ අධිමුත්ත පොඩිනම රහතන් වහන්සේ නමක්‌. උන්වහන්සේ කියනවා,

“මට හරි සතුටුයි. මරණය කියලා කියන්නේ මට සනීප වුණ ලෙඩක්‌. දන්ගෙඩියෙන් නිදහස්‌ වුණා වගෙයි මං මරණයෙන් නිදහස්‌ වෙලා ඉන්නේ. මං මරණයට තිබූ භය වමාරලා දැම්මා. වමනෙ ගියා. මං ඒකෙන් නිදහස්‌ වුණා.”

මේ හොරු පුදුමයට පත්වුණා. මේ හොරු ඇහුවා,

“හරි පුදුමයි තමුන්නාන්සේගේ කතාව. තමුන්නාන්සේට කොහොමද මේ අවබෝධය ලැබුණේ.?”

“සැවැත් නුවර ඉන්නවා ශාක්‍ය කුලයෙන් නික්‌ම පැවිදි වූ ශාක්‍යපුත්‍ර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන නමින් ප්‍රසිද්ධ මහා උත්තමයෙක්‌. ඒ තමයි මගේ ශාස්‌තෘන් වහන්සේ. මං උන්වහන්සේගෙන් තමයි ඉගෙන ගත්තේ.”

මේ පොඩිනමගේ කතාව අහලා අර හොරු කණ්‌ඩායම කිව්වා,

“අනේ. මේ බිලි පූජාවලින් වැඩක්‌ නෑ. ඔබ යම් අවබෝධයක්‌ ලබලා ඇද්ද, ඒ අවබෝධය කරා අපවත් එක්‌කන් යන්න” කිව්වා.

“මට නම් තේරෙන්නේ නෑ ඒ අවබෝධය කරා එක්‌කරගෙන යන්න. මං බුදුරජාණන් වහන්සේ ළඟට එක්‌කං යන්නම්” කියලා මේ හොරු ටික එක්‌කරගෙන ගියා. ඒ පිරිසේ සමහරු මහණ වුණා. ඒ අයත් මරණයෙන් නිදහස්‌ වුණා. ජීවත්ව සිටිද්දී මරණයෙන් නිදහස්‌ වෙනවාට තමයි රහත් වෙනවා කියලා කියන්නේ.

මොකක්‌ද මේ මරණයත් එක්‌ක තියෙන දුක? මරණයත් එක්‌ක තියෙන දුක බැඳිලා තියෙන්නේ ඉපදීමත් එක්‌කයි. රෝග පීඩා වැළඳීමත් සමඟ දුකක්‌ තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නේ ඉපදීමත් එක්‌කයි. නාකිවීමත් එක්‌ක දුකක්‌ තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නෙත් ඉපදීමත් එක්‌කයි. අපි කැමැතියි ඉපදෙන්නේ නැතුව ඉන්න. අපි කැමැතියි වයසට යන්නේ නැතුව ඉන්න. අපි කැමතියි ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. අපි කැමැතියි මැරෙන්නේ නැතුව ඉන්න. නමුත් ඒ කැමති දෙය ලැබෙන්නේ නෑ. කැමැති දෙය නොලැබීමත් දුකයි. ඒකත් ඉපදීමත් එක්‌කයි බැඳිලා තියෙන්නේ.

මේ නිසා මේ ඉපදීමත් එක්‌ක බැඳුණු මේ ජීවිතය දුකයි කියලා අපට තේරුණොත් ඒ තේරුණාට පස්‌සේ එයාට ඒක ඉක්‌මවා යන දෙයක්‌ ඕන වෙනවා. ඒක ලබන්න නම් මේ ඉපදුණු ජීවිතයේ අපි ආවේ කොහොමද? ආයෙ උපතක්‌ කරා යන්නේ කොහොමද? කියන එක අපි දැනගන්න ඕන.

පින්වතුනි, අපි ඉපදුණේ සසරේ විපාක විඳින්න අපි අතින් කර්ම කෙරිලා තිබුණ නිසයි. මේක වළක්‌වන්න බෑ. අපි කියමු උපත කියන්නේ යම්කිසි නිෂ්පාදනයක්‌ කියලා. ඒ නිෂ්පාදනයක්‌ කරන්න ඇන්ජිමක්‌ ඕන. මොකක්‌ හරි මැෂින් එකක්‌ ඕන. මැෂින් එකෙන් තමයි යමක්‌ පද්දවන්නේ. අපි ගත්තොත් මොනවාහරි දෙයක්‌ (බටර් හදනවා. නැත්නම් චීස්‌ හදනවා. නැත්නම් රෙදි නිෂ්පාදනය කරනවා. නැත්නම් පොත් නිෂ්පාදනය කරනවා.) මැෂින් එකට අමුද්‍රව්‍ය දාලා මැෂින් එකෙන් හැදිලා, ඇඹරිලා යනවා. මේ වගේ උපත නමැති දේ උපද්දවලා දෙන්නේ භවය නමැති මැෂිමයි. (භව පච්චයා ජාති) භවය නැමැති මැෂිම තමයි ඉපදීම උපද්දවලා දෙන්නේ. මොකක්‌ද මේ මැෂින් එක? ඒ තමයි කර්මය.

අපි ෙච්තනා පහළ කරලා යමක්‌ සිතන කොට මේ මැෂින් එක වැඩකරනවා. අපි ෙච්තනා පහළ කරලා යමක්‌ කියන කොට මේ මැෂින් එක වැඩකරනවා. ෙච්තනා පහළ කරලා යමක්‌ හිතලා ඉවර වෙන කොට මැෂින් එක වැඩකරලා. ෙච්තනා පහළ කරලා යමක්‌ කියලා ඉවරයි. මැෂින් එක වැඩකළා. නිෂ්පාදනය වුණා. මොකක්‌ද උපද්දවන දේ.? ඒකට කියන්නේ විපාක. විපාකයක්‌ නිෂ්පාදනය වුණා.

ඊට පස්‌සේ පින්වත්නි, ඒ විපාකය කරා යන්නේ විඤ්ඤාණයයි. අපි ඇහෙන් රූප බලන්න නම් මේ විඤ්ඤාණය ඇහේ ඇතිවෙන්න ඕන. කණෙන් ශබ්දයක්‌ අහන්න නම් විඤ්ඤාණයක්‌ කණේ හටගන්න ඕන. නාසයෙන් ආඝ්‍රාණය කරන්න නම් විඤ්ඤාණය නාසයේ හටගන්න ඕන. දිවෙන් රස දැනගන්න නම් දිවේ විඤ්ඤාණය හටගන්න ඕන. ශරීරයෙන් පහස දැනගන්න නම් කයේ විඤ්ඤාණය හටගන්න ඕන. මනසින් අරමුණු දැනගන්න නම් මනසේ විඤ්ඤාණය හටගන්න ඕන.

මේක ඉබේ හටගන්නේ නෑ. ඇහැක්‌ තියෙන්න ඕන. ඇහැට රූපය හමුවෙන්න ඕන. මේ විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට තමයි පේන්නේ. මේ විඤ්ඤාණය වැඩකරන්නේ හැම තිස්‌සේම අර ඇන්ජිම වැඩකරන විදිහටයි. ඒ ඇන්ජිම තමයි කර්මය, ෙච්තනාව. අපි ෙච්තනා පහළ කරලා වැඩකරන විදිහට තමයි විඤ්ඤාණය හැදි හැදී යන්නේ. ඒක හොඳට මතක තියා ගන්න. අපට හොයන්න බෑ මේක.

බුද්ධ කාලයේ ‘ථූන’ කියලා එක බ්‍රාහ්මණ ගමක්‌ තිබුණා. ඒ ‘ථූන’ කියන බ්‍රාහ්මණ ගමේ හිටපු බ්‍රාහ්මණයින් ඒ කාලේ හරියට බුදුරජාණන් වහන්සේට විරුද්ධකම් කළා. මොකද, උන්වහන්සේ ඇත්ත කියලා මිනිස්‌සු ඒ මාර්ගයේ යන නිසා. ඉතින් බ්‍රාහ්මණයෝ ඒගොල්ලන්ගේ තරුණ ළමයි ඔක්‌කෝම ගෙවල් දොරවල් දාලා ගිහින් පැවිදි වෙයි කියලා බය වුණා.

ඉතින් බුදුරජාණන් වහන්සේ ගමට වඩින කොට ඒ ගමේ බමුණෝ රැස්‌වීමක්‌ තිබ්බා. ඊට කලින් දවසේ ආරංචි වුණා මෙන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගමට එනවා කියලා. “මේගොල්ලන්ට උඹලා කවුරුවත් කෑම පොඩ්ඩක්‌වත් දෙන්න එපා. වතුර බිංදුවක්‌වත් දෙන්න එපා. එතකොට මේගොල්ලො මේ ගමේ ඉන්නේ නෑ. යනවා යන්න.” කිව්වා.

බුදුරජාණන් වහන්සේයි, සඟ පිරිසයි මේ වගේ පායන කාලෙක ඔය ගමට වැඩියා. වැඩියට පස්‌සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාළා,

“ආනන්දය, මට පිපාසයි. මට වළඳන්න පැන් ටිකක්‌ අරගෙන එන්න” කියලා. ඉතින් ආනන්ද ස්‌වාමීන් වහන්සේ පාත්තරෙත් අරගෙන ළිඳක්‌ ගාවට ගියා. ඒ ළිඳ පිදුරු දාලා වහලා. ආයෙ වෙන ළිඳක්‌ හොයාගෙන ගියා. ඒකත් පිදුරු දාලා වහලා. ආයෙ වෙන ළිඳක්‌ හොයාගෙන ගියා. බැරිම තැන ආනන්ද ස්‌වාමීන් වහන්සේ හිස්‌ අතින් පාත්තරය අරන් ආවා. ඇවිල්ලා “ස්‌වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එක ළිඳක්‌වත් නෑ පැන් පොඩ්ඩක්‌ ගන්න. මේ හැම ළිඳක්‌ම වහලා” කියලා කිව්වා.

“එහෙනම් ඔබ ඉස්‌සෙල්ලාම ගිය ළිඳට ආපහු යන්න” කිව්වා. ඒ පාර ඒ ළිඳට යනකොට ඒ ළිඳේ වතුර උඩට ඇවිල්ලා වතුර උතුරලා යනවා. පිදුරු ටික ගහගෙන ගිහිල්ලා. ආනන්ද ස්‌වාමීන් වහන්සේ ඒකෙන් පැන් එකක්‌ අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් පූජා කළා. “ස්‌වාමීනී, හරිම පුදුමයි. මිනිස්‌සුන්ට භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා හඳුනගන්න බැරිවුණා. ඒත් සොබාදහම හඳුනාගත්තා” කියලා කිව්වා.

එතැන හිටිය එක රහතන් වහන්සේ නමකට හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. උන්වහන්සේ දවල් කාලේ වැඩියා. වතුර දෙන්න කවුරුත් නෑ. වතුර පිළිගන්වන්නෙත් නෑ. ළිඳකුත් නෑ. ඔක්‌කෝම ළිං පිදුරු දාලා වහලා. පිපාසයට මැදිවෙලා එක රහතන් වහන්සේ නමක්‌ යනවා. අව්ව සැර වැඩියි. පිපාසය වැඩියි. ගෙයක්‌ ඉස්‌සරහා කලන්තෙ දාලා වැටුණා. මේ ගෙදර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු තරුණ දුවක්‌ සිටියා. මේ දුව වටපිට බැලුවා. කවුරුත් පේන්න නෑ. ඉක්‌මනට දිව්වා අර ස්‌වාමීන් වහන්සේ ළඟට. උන්වහන්සේ කෙඳිරි ගානවා.

“ඇයි. ස්‌වාමීනී.?”

“වතුර.” කිව්වා. දැන් ඉල්ලන්නේ මොකක්‌ද? වතුර. දෙන්න තහනම් මොනවද? වතුර. දැන් මේ දුව බලන් ඉන්න බැරුව “මේක මම බල බලා ඉඳලා හරියන්නේ නෑ. මේ බමුණන්ට ඕන දෙයක්‌ කරපුවාවේ. කියලා කල්පනා කරලා ඉක්‌මනට ගිහිල්ලා පැන් ටිකක්‌ පෙරාගෙන ගිහින් “ස්‌වාමීනී, වළඳන්න” කියලා දුන්නා. දීලා මෙයා හරි සතුටෙන් හිටියා. ඊට පස්‌සේ මේ රහතන් වහන්සේ ඒක වළඳලා අමාරුවෙන් වැඩියා.

හැබැයි මේක කාගේ හරි ඇස්‌ දෙකෙන් දැක්‌කා. කවුරුහරි මේක දැක්‌කා. දැකලා අර බමුණන්ට කියාගෙන ගියා, “ආන්.. බලාපන් අරකි කරපු වැඩේ. අපේ කීම ඇහුවෙ නෑ.” කියලා.

බුදුරජාණන් වහන්සේ සඟ පිරිසත් එක්‌ක ඉක්‌මනින් ඒ ගමෙන් පිටත් වෙලා ගියා. බමුණො රකින්නේ සත්‍යය නෙවෙයිනේ, සම්ප්‍රදායනේ. සත්‍යය රකින්නේ බුද්ධිමත් කෙනයි. ඉතින් බුදුරජාණන් වහන්සේයි, සඟ පිරිසයි පිටත්වුණාම බමුණෝ ඔක්‌කොම රැස්‌වුණා. දැන් ඔන්න දඬුවම් දෙන්න සූදානම. දැන් අර දරුවට අඬගැහුවා.

“කියාපිය. ඇයි මේ මුඩු මහණුන්ට වතුර දුන්නේ.?”

“මට ඉවසගන්න බැරුව ගියා. පිපාසය හැදිලා කලන්තේ දාලා වැටිලා ඉන්නවා මට බලන් ඉන්න බෑ. මගේ පපුව පත්තු වෙලා ගියා. මං පැන් පූජා කළා.”

“කියාපිය. තී වරදක්‌ නේද කළේ.?”

“නෑ. මං වරදක්‌ නෙවෙයි කළේ. මං මනුස්‌සයෙකුට වතුර දුන්නා විතරයි.”

දැන් අර දුව තමන් යහපතක්‌ කළා කියලා දැඩි මතයක ඉන්නවා. අර ගොල්ලෝ කිව්වා,

“මේකි තියලා හරියන්නේ නෑ.”

බලන්න මේ පුංචි සිද්ධිය. අර බමුණන් බමුණු සභාවේ, බමුණු අධිකරණයේ, බමුණු තීරණයක්‌ නියෝග කළා.

“තී ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට උදව් කළා. තී ගල් ගහලා මරන්න ඕනෑ.”

බලන්න, මේ දුව කොච්චර බුද්ධිමත්ද.?

“කමක්‌ නෑ. මට කරන්න දෙයක්‌ නෑ. මම සත්‍යය වූ දෙයක්‌ කළා” කියලා සතුටින් හිටියා. මෙයාට ගල් ගහලා මැරුවා. බමුණෝ හිතන්න ඇති, බමුණෝ ජයගත්තා කියලා.

මුගලන් මහරහතන් වහන්සේ දවසක්‌ දිව්‍යලෝක චාරිකාවේ වඩිනවා. දිව්‍යලෝක චාරිකාවේ වඩිනකොට නිල් පාට වතුර තියෙන ලස්‌සන පොකුණක්‌ මැද්දේ රත්තරන් පාට හංසයෙකුගේ හැඩය තියෙන ලස්‌සන මාළිගාවක්‌ දැක්‌කා. මුගලන් හාමුදුරුවෝ බැලූවා “ෂා. ලස්‌සන..” ජනෙල් කවුළුවකින් අප්සරාවියක්‌ ඇවිල්ලා බැලූවා. ඈ අනිත් දිව්‍ය අප්සරාවියන් පිරිවරාගෙන අර නිල්පාට ජලයෙන් පාවෙලා ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට වැන්දා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා.

“ලස්‌සන මාලිගාව. ඔබ කොහෙද හිටියේ කලින්.?”

“ස්‌වාමීනී, මං මිනිස්‌ ලෝකයේ හිටියේ.”

“කොහෙද හිටියේ.?”

“දඹදිව”

“දඹදිව කොහෙද හිටියේ.?”

“ථූන කියන ගමේ.”

“ගොඩාක්‌ පින් කරගන්න ඇති නේද.?”

“නෑ. ස්‌වාමිනී, මට ගොඩක්‌ පින් කරන්න වාසනාව නැතුව ගියා. හැබැයි මං එක දෙයක්‌ කළා. මං සිත පහදවා ගෙන රහතන් වහන්සේ නමකට පැන් ටිකක්‌ පූජාකළා.”

බලන්න මේ සිදුවීම. එයාට මොනතරම් අකරතැබ්බවලට මුහුණදෙන්න සිදුවුණාද? හැබැයි එයා පැරදුණේ නෑ. එතකොට එයා ෙච්තනාවක්‌ පහළ කරලා මේ පැන් ටික අරගෙන අර රහතන් වහන්සේ නමක්‌ ළඟට දුවගෙන යනකොට මෙයාගේ මැෂින් එක වැඩකළා. වැඩකරලා විඤ්ඤාණය හැදුණා. හැදුණේ මෙතැන මැරෙන කොට දෙවියන් අතරට ගෙනියන්නයි. (භව පච්චයා ජාති) විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ හේතුවෙන් උපතක්‌ කරා යනවා.

එතකොට අපට ජීවිතය දැනුවත් වෙන්න වුවමනා දේ නොලැබුණොත් අපි මේ ෙච්තනා පහළ කරලා කරන කර්මයෙන් බේරෙන්න බෑ. පස්‌සෙන් එනවා. පස්‌සෙන් ඇවිල්ලා අපි කොහේ කොහේ ගෙනියයිද දන්නේ නෑ.

මේ ගැන අපි හරි අවබෝධයක්‌ ඇති කරගන්න ඕන. දෙවියන් අතර වේවා, මිනිසුන් අතර වේවා, තිරිසනුන් අතර වේවා, අපායේ වේවා යමෙක්‌ උපදිනවා නම් ඒකට හේතුව භවයයි. විපාක පිණිස කර්ම සකස්‌ වීමයි. එතකොට මේ විපාක පිණිස කර්ම සකස්‌වීම නිසයි උපදින්නේ. විපාක පිණිස කර්ම සකස්‌වීම නැතුව ගියොත්..?

ඒකට ලස්‌සන උපමාවක්‌ මට මතක්‌වුණා. මේක අලූත් උපමාවක්‌. ඇඳුම් මහන මැෂින් එක තියෙනවනේ. මැෂින් එක ඇතුළේ තියෙනවනේ ෂටලය කියලා එකක්‌. ෂටලය ඇතුළෙනේ නූල් ටික ඔතන්නේ. නූල් ටික ඔතලා ඒක මැෂින් එකේ යටින් දාලා, උඩින් පටලවලා අරගෙන ඊට පස්‌සෙනේ ඉදිකටුවට දාන්නේ. එතකොට උඩින් එක නූලක්‌ යනවා. ඇතුළින් තව නූලක්‌ යනවා. ඇතුළේ නූලයි, උඩ නූලයි එකතුවෙලා තමයි රෙදි ටික මූට්‌ටු කරන්නේ. එතකොට උඩත් නූල නැත්නම්, යටත් නූල නැත්නම් මැෂින් එක පෑගුවා කියලා මැහෙන්නේ නෑනේ. හරි ලස්‌සනයි ඒ උපමාව. රහතන් වහන්සේත් ඒ වගෙයි. මැෂින් එක පෑගුවාට මැහෙන්න දෙයක්‌ නෑ වගේ රහතන් වහන්සේ නමක්‌ ජීවත් වුණාට කර්ම රැස්‌වෙන්නේ නෑ. අපේ මැෂින් එකේ හැම තිස්‌සේම උඩත් නූල්, යටත් නූල්. මේ නිසා මේක අවබෝධ කරගන්න ඕන.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර 

By | 2017-11-28T15:00:49+00:00 July 24th, 2017|1 Comment

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

One Comment

  1. Dinusha July 24, 2017 at 12:43 pm

    සාධූ සාධූ සාධූ. අපි මේ සසර අවසන් කර ගැනීමට අදිටන් කරගනිමු.

Comments are closed.