පින්වත් දරුවනේ, ආශ්චර්යවත් ශ‍්‍රී සද්ධර්මයේ පස්වැනි ගුණය ඕපනයික ගුණය යි. ඕපනයික කියන්නේ තමා තුළින් බැලිය යුතුයි කියන එකයි. opanaika gunaya

ගුණධර්ම ඇතිකරගැනීම පුද්ගලිකයි.

ඕපනයික කියන වචනයේ සාමාන්‍ය තේරුම පුද්ගලිකයි කියන එක. දැන් අපි ගත්තොත් මෙතන අපි පිරිසක් ඉන්නවානෙ. දැන් අපි අතරින් කෙනෙකුට ශ‍්‍රද්ධාවක් ඇති වුනොත් ඒක එයාගෙ පුද්ගලික එකක්. කාගෙහරි සිතක් සමාධිමත් වුනොත් ඒකත් පුද්ගලික එකක්. කවුරුහරි හොඳ සීලයක පිහිටලා ඉන්නවානම් ඒකත් එයාගෙ පුද්ගලික එකක්. කවුරුහරි හොඳට නුවණින් විමසනවා නම් ඒකත් පුද්ගලික එකක්. ඒ දේවල් තමා තුළ ඇතිකරගන්නා පුද්ගලික දේවල්. ඒ නිසයි පින් තියන ඕනෑම කෙනෙකුට මේ ධර්මය දියුණු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ සඳහා තව කෙනෙකුගේ අවසරයක් ගන්න ඕන නෑ. ඒක තමන්ටම දියුණු කරගන්න පුළුවන්. තමන් හරියටම සතර සතිපට්ඨානය වඩනවානම් ඒක බාහිර කෙනෙකුට වළක්වන්න බැහැ. ඒ මොකද මේ ධර්මය ඕපනයිකයි. opanaika gunaya

ධර්මයේ ආශ්චර්ය්‍ය

බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආච්චි කෙනෙක් හිටියා. ඒ ආච්චිට යන එනමං නැතිවෙලා කන්න බොන්න පවා නැතිවෙලයි හිටියෙ. දවසක් මේ ආච්චි ඇවිදගෙන යනකොට පටාචාරා භික්ෂුණියගේ ආරාමයට ගියා. එදා දානයක් ගෙනල්ලා. දැන් ඉතින් ආච්චිටත් කන්න දුන්නා. කෑම රහයි. ආච්චි කල්පනා කළා මෙතන හොඳට දානය හම්බවෙන තැනක්. මම මෙතන අතුපතු ගාගෙන හිටියොත් මට හොඳට බඩපිරෙන්න කාලා ඉන්න පුළුවන්. දැන් එතකොට ආච්චිගෙ ඔළුවට වැටුනෙ ධර්මය නෙවෙයි, කෑම. ඉතින් මේ ආච්චි පටාචාරා භික්ෂුණින් වහන්සේ ළඟට ගිහින් අනේ භික්ෂුණිය මම මෙතන උදව් පදව් කරගෙන ඉන්නම් කිව්වා.

දැන් මෙයා නැවතුනේ කෑමට. මේ ආච්චි කල්පනා කරනවා දැන් මම වයසක කෙනෙක්. හැමදාම මෙතන නවත්තගන්න එකක් නෑ. මම මහණ වුනොත් මීට වඩා ලේසියි. එතකොට මට කොහොමත් නිකන් හම්බවෙනවානෙ කියල ‘‘අනේ භික්ෂුණිය මම හරි කැමතියි මහණ වෙන්න’’. මාව පැවිදි කරන්න කිව්වා. දැන් මේ පැවිදි වෙන්න හදන්නෙ ධර්මය අවබෝධ කරන්න හිතාගෙන නෙවෙයි, කෑමට. ඔන්න පැවිදි වුණා. opanaika gunaya

කලණ මිතුරු ඇසුරේ ලද වාසනාව

පැවිදි වුණාට පස්සෙ කුස්සියේ ඉන්න බැහැනෙ. දැන් පටාචාරා භික්ෂුණිය ධර්මය දේශනා කරමින් ඉන්නකොට මෙයත් කොනේ වාඩි වුණා. දැන් භික්ෂුණිය ධර්මය දේශනා කරනවා. නුවණින් විමසලා බලන්න, ඇස අනිත්‍යයි… කන අනිත්‍යයි… නාසය අනිත්‍යයි… දිව අනිත්‍යයි… කය අනිත්‍යයි… මනස අනිත්‍යයි… විමසලා බලන්න. මේ එකක්වත් තමාගේ වසඟයේ පවත්වන්න බැහැ. අපි මේ දෙවල්වලට ආශා කරනවා. මේකට ආශා කිරීම නිසා අපි දුක් විඳිනවා. බලන්න ඇත්තද නැත්තද? මේවා කියනකොට අරයත් හිත යොමු කරගෙන අහගෙන ඉන්නවා. ටික දවසක් යනකොට මෙයා කල්පනා කරනවා මොකක්ද මේ ලාමක කෑමට තියන ආශාව? මම මේ ධර්මයට ආසාකරන්න ඕන කියලා මෙයා ධර්මය ප‍්‍රගුණ කලා. සුළු කලකින් රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත්වුණා.

එතකොට බලන්න එයා හිතපු නැති පැත්තකට ගියේ ධර්මයෙන් නේද? ධර්මය පුද්ගලිකයි කියන්නෙ එ්කයි. තමා තුළට පමුණුවා ගන්න පුළුවන්. එයා ආවෙ වෙන කාරණයකට. නමුත් එයා ධර්මයට ගියා. ඒක තමයි ධර්මයේ තියන මූලික ලක්ෂණය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ඕපනයික ලක්ෂණය තියන බව අපි අවබෝධ කරගන්න ඕන.
මේ ඕපනයික ධර්මය තමා තුළට ගළපා ගැනීමේ දී ඒ ඒ පුද්ගලයාගේ කුසලය සහ පින් මහිමය අනුව අවබෝධය කරා යන ආකාර හතරකි. පළවෙනි එක තමයි ‘‘ දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා’’ ප‍්‍රතිපදාව කියන්නේ… එයා ධර්ම මාර්ගයේ ගමන් කරන එක දුක් සහිතයි. සමාධිය වැඩෙන්නෙ නෑ. එයාට හැම තිස්සේම පංච නීවරණයන්ගෙන් පීඩාවක් නැද්ද? ආසාකරන දේවල් වලට හිත යනවා, තරහා යනවා, නිදිමත එනවා, හිත විසිරෙනවා, සැකය එනවා. එතකොට ප‍්‍රතිපදාව දුකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා, ‘‘මහණෙනි, දුක්ඛා පටිපදා කියන්නේ ප‍්‍රතිපදාව දුකයි’’. (දන්ධාභිඤ්ඤා) අවබෝධයත් ඉතාම සෙමින්. බහුතරයක් අයිති ඔය ගොඩටයි. හරි මහන්සියක් ගන්න ඕන. ඒ අයට එකපාරට අවබෝධ වෙන්නෙ නෑ. හෙමිහිට තමයි අවබෝධ වෙන්නෙ.

නිතරම මේ කරුණු පහ පුරුදු කරන්න.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එයා නිතර පුරුදු කරන්න ඕන කරුණු පහක්. (කායේ අසුභානුපස්සි) එයා කය ගැන අසුභ වශයෙන් දකින්න ඕන. (ආහාරේ පටික්කූල සඤ්ඤා) ආහාරය දකින්න ඕන පිළිකුල් හැටියට. (සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤා) කිසි ලෝකයක් කෙරෙහි එයා ආශාවක් නොකර ඉන්න ඕන. (සබ්බසංඛාරේසු අනිච්ච සඤ්ඤා) සියලූ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරන්න ඕන. (මරණ සති) මරණය කොයි වෙලාවෙ එනවද දන්නැහැ කියල නුවණින් විමසන්න ඕන. අන්න ඒ වගේ වීරිය කළොත් තමයි එයාට අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නෙ. සාමාධියක් වැඩෙනකල් බලාගෙන ඉඳලා හරියන්නෙ නෑ. එයා කවුද? ‘‘ දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා’’. තමන් තමන්ව අඳුනාගන්න ඕන තමන් මොන ප‍්‍රතිපදාවටද කියලා. opanaika gunaya

දෙවැනි එක තමයි, (දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා) ප‍්‍රතිපදාව දුකයි. නමුත් වේගයෙන් අවබෝධ වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ අන්න ඒ දෙවනි කොටසට තමයි අයිති. මුගලන් මහ රහතන් වහන්සේට හරි වීරියක් ගන්න සිදු වුණා. මොකද නිදිමතෙන් හරියට බැටකෑවා. එතකොට ඒ ප‍්‍රතිපදාව දුකයි. නමුත් දුක් වූ ප‍්‍රතිපදාවකින් වීරියක් ගත්තා. වේගයෙන් අවබෝධ වුණා. (ඛිප්පාභිඤ්ඤා) ඛිප්ප කියන්නෙ වේගයෙන්, ඉක්මණින්. වේගයෙන් අවබෝධ වුණා. එහෙමනම් පළවෙනි එක මොකක්ද? දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා. දෙවැනිඑක, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා.

ප‍්‍රතිපදාව සැපයි. ඒත් අවබෝධය සෙමින්

තුන්වෙනි එක තමයි ‘‘සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා’’. සුඛාපටිපදා කියන්නෙ එයාට බොහොම ලේසියෙන්, සාමාන්‍යයෙන් වීරියක් අරගෙන හිත ඉක්මනට තැන්පත් කරගන්න පුළුවන්. එයාට පුළුවන් ලේසියෙන්ම පළවෙනි ධ්‍යානය උපදවා ගන්න. තවත් ටිකක් වීරිය කරලා එයාට පුළුවන් දෙවනි ධ්‍යානය උපදවා ගන්න. කවුරුහරි බැන්නට එයාගෙ හිතේ ඒක පිහිටන්නෙ නෑ. කවුරුහරි වෙනස්කමක් කළත් ඒක එයාගෙ හිතේ පිහිටන්නෙ නෑ. ආශාකරන දේවල් එයාට පුළුවන් ලේසියෙන්ම අත්හරින්න. එයාගෙ හිත සමාධියේම පිහිටනවා. ඒක මොකක්ද? (සුඛාපටිපදා) සැප ප‍්‍රතිපදාව. සමහරු ඉන්නවා ඒ සැප ප‍්‍රතිපදාවට අයිති අය. (සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා) ඒ සැප ප‍්‍රතිපදාවේ දියුණු කරගෙන ගියත් අවබෝධය හිමීට සිද්ධවෙන අවස්ථා තියනවා. එතකොට ඒකට කියන්නෙ ‘‘සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා’’. අවබෝධය හිමින් සිදුවන්නේ. හැබැයි ප‍්‍රතිපදාව සැපයි. සැපයි කියන්නෙ මොකද? එයාට පීඩාවක් නැතිව, සැනසිල්ලෙන් දියුණු කරන්න පුළුවන්. මොකද සමාධියක් බලවත්ව තියන නිසා.

වේගවත් වටහාගැනීමක්

තව කොටසක් ඉන්නවා, ඒ අයගේ ප‍්‍රතිපදාව සැපයි. ඒ වගේම අවබෝධයත් වේගයෙන් සිද්ධ වෙනවා. (සුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා) දැන් බලන්න ඒකෙ වෙනස්කම. මුගලන් මහ රහතන් වහන්සේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. සැප ප‍්‍රතිපදාවෙන් තමයි වේගයෙන් අවබෝධ කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙන කෙනෙකුට දේශනා කරන ධර්මයක් අහගෙන ඉඳල තමයි අරහත්වයට පත්වුණේ. පායන කාලයක, ගිජ්ඣකූඨ පර්වතයේ පල්ලෙහා තියන සූකරඛත ගල්ලෙනේ දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේට පවන් සල සලා හිටියෙ. ඒ වෙලාවේදි දීඝනක බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ල කතා කළා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා විඳීම ගැන. දීඝනක සෝතාපන්න වුණා. ඒ ධර්මයම අහලා පවන් සල සලා හිටපු සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අරහත්වයට පත්වුණා. බලන්න කොයිතරම් වේගවත් වටහාගැනීමක්ද?

සමහරවිට මේ යුගයේ බොහෝවිට ඉන්න පුළුවන් අර පළමුවැනි එක්කෙනා. කවුද ඒ? දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා. ප‍්‍රතිපදාවත් දුක් සහිතයි. අවබෝධයත් හිමියි. එතකොට එයාට හොඳට පුරුදු කරන්න වෙනවා ඉවසීම. එයාට බලෙන් ගිහිල්ලා ලබාගන්න බැහැ. opanaika gunaya

අසිරිමත් ශ‍්‍රී සද්ධර්මය තමා තුළින් දකිමින් මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරමු.

කප්ප තෙරුන් ගේ ගාථා…

නොයෙක් අසූචි පිරුණු වැසිකිළි වළක් වගේ, පරණ වෙච්ච ගවර වළක් වගේ, ලොකු තුවාලයක් වගේ, විශාල සැරව ගෙඩියක් වගේ, ගර්භාෂයකින් ඉපදුණ.
ලේ සැරව පිරුණ, අසූචිවලින් බර වෙච්ච, හැම තිස්සේම අපවිත‍්‍ර දේ ම වැගිරෙන මේ ශරීරයෙන් නිතරම කුණු වතුර වැක්කෙරෙනවා.
ලොකු නහර වැල් හැටකින් විතර බැඳිලා, මස් වැදලිවලින් ඔතලා, හම කියන ඇඳුමෙන් වහලා තියෙන මේ ශරීරය නම් වැඩකට නැති එකක්.
ඇටවලට නහර වැල් නැමති නූල් බැඳලා තිබෙන මේ ශරීරය කුණුප කොටස්ම එකතුවෙලා තමයි ඔය ඉරියව් පවත් වන්නෙ.
ස්ථිර වශයෙන්ම මරණය කරා යන මේ ශරීරය තිබෙන්නේ මරණය ළඟමයි. අන්තිමේදී ශරීරය මෙහි අතහැරලා කොහේ හරි යනවා.
අවිද්‍යාව නිසා මේ ශරීරයේ ඇත්ත වැහිලයි තියෙන්නේ. කෙලෙස්වලින් ගැට ගැහිලා බැඳිලා තියෙන්නේ. කෙලෙස් සැඩ පහරේ ගහගෙන යන්නෙ. සැඟවිලා ඉන්න කෙලෙස්වල දැලට හසුවෙලා තියෙන්නෙ.
පංච නීවරණවලින් යුක්තව ලාමක විතර්ක පිරිවරාගෙන ඉන්නෙ. තෘෂ්ණාවෙන් මුල් ඇදලයි තියෙන්නේ. මේ ශරීරය නමැති ගෙය සෙවිලි කරල තියෙන්නේ මෝහය නමැති අතුඉති වලින්.
මේ විදියට තිබෙන මේ ශරීරය වැඩ කරන්නේ කර්මය නැමති එන්ජිමෙනුයි. සම්පතින් හෝ විපතින් අවසන් වෙනවා. පෙනෙන්නට තිබෙන්නේ වෙනස් වීම ම යි.
ඒ විදියේ කයක් මගෙයි කියලා සලකන්ට පටන් ගත්තොත් ඔවුන් අන්ධ බාල පෘථග්ජනයන් ම යි. මේ භයානක වූ සංසාරය ම යි වර්ධනය කරන්නේ. ආයෙ ආයෙමත් භවය ම යි හදාගන්නේ.
ඉතින් මේ ශරීරය අසූචි තැවරුණු විෂඝෝර සර්පයෙක් වගේ දැකලා දුරු කළොත් අන්න ඒ උදවිය භවය මුලින්ම උදුරලා දාලා පිරිනිවන් පානවා.

මේ වනාහී අයුෂ්මත් කප්ප නම් රහත් මුනිඳින් වදාළ ගාථාවන් ය…

ජීවිතය තමා තුලින් දකින්න | Opanaika Gunaya

By | 2017-02-01T15:06:04+00:00 December 17th, 2016|Comments Off on ඕපනයික ගුණය

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.