2016 පොසොන් පොහෝ දින ධර්ම දේශණය 2017-02-08T14:00:25+00:00

Project Description

චූළ හත්ථිපදෝපම සූත්‍රය | 2016  පොසොන් පොහෝ දින ධර්ම දේශණය

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අද අපි සූදානම් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව උපහාර පිණිස මේ ලංකාවාසීන්ට වදාළ පළමු වැනි දේශණාව වන චූලහත්ථි පදෝපම සූත්‍රය ශ්‍රවණය කරන්න. මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහෝදින ලංකාවට වැඩම කරද්දි, මේ ලංකාවේ ඒ වෙද්දි රජ්ජුරුවෝ හැටියට හිටියේ දේවානම් පියතිස්ස රජතුමා. ඉතින් පොසොන් පෝය දවසේ නැකැත් කෙළියකට දඩයමේ යන සිරිතක් තිබ්බා ඒ කාළේ. ඉතින් මිහින්තලේ ප්‍රදේශයේ වනාන්තරයේ යද්දි, එක්තරා දේවතාවෙක් මුවෙකුගේ වෙස් අරගෙන රජ්ජුරුවන්ට පෙනි පෙනී දුවන්ට පටන් ගත්තා. දුවන්න ඉස්සෙල්ලා ඒ මුවා තණකොළ කන ආකාරයක් පෙන්නුම් කරමින් හිටියා. එතකොට රජ්ජුරුවෝ කල්පනා කළා, මේ සතා මේ වෙලාවේ කෑම කකා ඉන්නේ මේ සතාට විදින්ට හොඳ නෑ කියලා දුන්න සද්ද කළා. එතකොට ඒ මුවා රජ්ජුරුවන්ට පෙනි පෙනී දුවන්ට පටන් ගත්තා. එතකොට මුවාගේ පස්සෙන් රජ්ජුරුවෝ දුවද්දි අර පිරිසෙන් රජ්ජුරුවෝ වෙන් වුනා. රජ්ජුරුවෝ ලොකු පිරිසක් එක්ක ගියේ.

ඒ වෙද්දි මිහිඳු රහතන් වහන්සේ,  ඉත්තිය, උත්තිය, සම්බල, බද්ධසාල, සුමන කියන රහතන් වහන්සේලා සමග හා භණ්‌ඩුක කියන අනාගාමී උපාසකත් සමඟ සෘධි බලයෙන් මිහින්තලයට වැඩලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ හිතුවා මේ පිරිස ඔක්කෝම දැක්කොත් එකපාරම රජ්ජුරුවෝ කළබල වෙයි හිතලා සෘධි බලයෙන් ඒ තමන් වහන්සේ සමග පැමිණි පිරිස නොපෙනෙන්න සැලැස්සුවා. උන්වහන්සේ විතරක් තනියම පේන්න සැලැස්සුවා. මිහිඳු රහතන් වහන්සේ වැඩ සිටිය තැන කිට්ටු කරලා අර මුවා නොපෙනී ගියා. එතකොටම මිහිඳු මහරහතන් වහන්සේ ඇහුවා “තිස්ස, මෙහේ එන්න කිව්වා” රජ්ජුරුවෝ කල්පනා කළා. කවුද බොලේ මට තිස්ස කියලා කිව්වේ කියලා. ඇයි රජ කෙනෙකුට එහෙම නම කියලා කතා කරන්න පුලුවන් හපනෙක් නෑ. එතකොට මිහිඳු රහතන් වහන්සේව දැකලා රජ්ජුරුවෝ හිතුවා මේ නම් මනුස්සයෙක් නෙමෙයි කියලා.

හිතන කොට මිහිඳු රහතන් වහන්සේ වදාළා,

සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා

මහා රජ්ජුරුවෙනි, අපි ශ්‍රමණයෝ වෙමු. ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම අපි දඹදිව ඉදලා මෙහි පැමිණියා කිව්වා. එතකොටම රජ්ජුරුවන්ටම මතක් වුනා. ධර්මාශෝක රජ්ජුරුවෝ එවාපු සංදේශය. ඒකේ කිව්වා මිත්‍රය, මං තෙරුවණ් සරණ ගියා. ඔබත් තෙරුවණ් සරණ යන්න. ආහ් මේ ඒ අය තමයි කියලා රජ්ජුරුවන්ට මතක් වුනා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ පහලට වැඩියා. ඊට  පස්සේ අනිත් පිරිසත් පේන්න සැලැස්සුවා.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

චූළ හත්ථිපදෝපම සූත්‍රය | 2016  පොසොන් පොහෝ දින ධර්ම දේශණය

Leave A Comment