ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2017-09-29T16:56:28+00:00

Project Description

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

පින්වත්නි, බෝධිය කියලා කියන්නේ මොකක්ද කියන එකයි අපි අද මේ වෙලාවේ පොඩ්ඩක් ඉගෙන ගන්නේ. පුංචි කාලේ ඉඳලා ගොඩක් අය බෝධිපූජා තියනවා. අපල කිව්වහමත් ඊට පස්සේ බෝධිපූජා තියාපං කියනවා. එතකොට අපි බෝධිපූජා තියනවා. කරදරයක් වුනහම අපිට බෝධිය මතක් වෙනවා. සතුටින් ඉන්න වෙලාවට මතක් වෙන්නේ නෑ. කමක් නෑ ඉතින් කරදයක් වෙච්ච වෙලාවටත් භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය සිහිවෙන එකත් උතුම් දෙයක් නේද? ඒක හරි විදිහට සිහිපත් කරගන්න එක ගැනයි අපි මේ කියන්ට හදන්නේ. “බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං” බෝධිය කියලා කියන්නේ සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල. කාගෙවත් උදව්වක් නැතුව අපේ ශාස්තෘන් වහන්සේ දඹදිව් තලයේ නේරංජරා කියන නදිය අසබඩ වජිරාසනය මත වැඩ හිඳලා තමන්ගේ ම උත්සාහයෙන් තමන්ගේ ම ධෛර්යයෙන් තමන් ම උපදවා ගත්තු ඤාණයෙන් සෝවාන් මාර්ගඵලයට පත්වුනා, සකදාගාමී මාර්ගඵලයට පත්වුනා, අනාගාමී මාර්ගඵලයට පත්වුනා, අරහත් මාර්ගඵලයට පත්වුනා. ඒකට කියන්නේ අපි ස්වයංභූ ඤාණයෙන් කියලා. ස්වයංභූ කියන්නේ තමන්ගේ ම ඤාණයෙන්. බාහිර කෙනෙකුගේ උදව් නැතුව ඒ බෝධිය වජිරාසනයේ දී සාක්ෂාත් කරන මොහොතේදී සෙවන සැලසු යම් වෘක්ෂයක් ඇත්ද, ඒ වෘක්ෂයටත් ඒ නම ලැබුණා.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස වජිරාසණයේ වැඩ ඉන්න කොට සෙවන සැලසුවේ නුග වෘක්ෂයක්.  එතකොට කාශ්‍යප බුද්ධ කාළේ තෙරුවන් සරණ ගිය අය තමන්ගේ ශාස්තෘණ් වහන්සේ සිහි කරගෙන වන්දනාමාන කළේ නුග වෘක්ෂයකට. අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදා වෙසක් පොහෝ දවසේ බෝධි මූලයේ උන්වහන්සේ බෝ සෙවනේ වැඩ සිටියා. උන්වහන්සේට කාත් කවුරුවත් හිටියේ නෑ මේ විදියට භාවනා කරන්න,  මෙහෙම භාවනා කරන්නට කියලා උපදෙස් දෙන්න කවුරුවත් හිටියේ නෑ. හැබැයි බාධා කරන්න නම් හිටියා. බාධා කරන්න ආපු වෙලාවේ උදව්වට කවුරුවත් ආවේ නෑ. සම්මා සම්බුදු රජානන් වහන්සේලා තනියම තමයි සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඉතින් එදා මේ ලෝකය පාලනය කරන පාලකයා සේනා සහිත පිරිසත් එක්ක ආවා. සේනා සහිත පිරිසත් එක්ක ඇවිල්ලා කිව්වා ඔතන තමුන්නාන්සෙට අයිති නෑ, ඔතනින් නැගිටින්ට හොදැයි කිව්වා. කාවද ඒ නැගිට්ටවලා යවන්න හැදුවේ? අපේ ශාස්තෘණ් වහන්සේ. දැන් ඔබ භාවනා කරන්නට ලෑස්ති වෙනකොට කවුරු හරි කිව්වොත් ඇවිල්ලා ‘පල දැන් මෙතනින් නැගිටලා’ කියලා කිව්වොත්, අනේ ! ඉන්ට මම යන්නම් කියලා දුවනවා. ඒ සේනාසහිත මාරයා ආවේ. ඔබ නිකන් කෙසෙල් අත්තක් සෙලවුනත් පිරිත් නූල් බඳිනවා නොවැ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

Youtube link

 

Leave A Comment