සේඛ බල ඇතිකර ගනිමු | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 06 2017-10-13T11:54:55+00:00

Project Description

සේඛ බල ඇතිකර ගනිමු | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 06

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද දේශණාවේ මතෘකා හැටියට තියෙන්නේ සේඛ බල ගැන කතා කිරීමයි. පින්වත්නි, අපි සියලු දෙනාට මේ සංසාර ගමනේ අපි යන මේ රටාවේ අපට තියෙන්නේ අනියත උප්පතියක්. අනියත උප්පත්තිය කියලා කියන්නේ මැරුණට පස්සේ නියත වශයෙන්ම කොහේ ඉපදෙයිද කියලා කියා ගන්න බැරි අය. ඒක නියත නෑ. නියත නැත්නම් මොකක්ද කියන්නේ අනියතයි කියලා. අනියත උප්පත්ති ඇතුව අපි යනවා කියන එකේ තේරුම අපි මැරුණට පස්සේ කර්මානුරූපව සමහර විට පෙර ආත්මයක කර්මය මතු වෙලා නිරයේ යන්න පුලුවන්. පෙර ආත්මයේ කර්මය මතු වෙලා තිරිසන් අපායේ උපදින්නත් පුලුවන්. ප්‍රේත ලෝකේ උපදින්නත් පුලුවන්. අසුර ලෝකේ උපදින්නත් පුලුවන්. මොකක් හරි පිනක් ඉස්මතු වෙලා ආයේ මනුස්ස ලෝකේ එන්නත් පුලුවන්. දිව්‍ය ලෝකෙක යන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒ එකක් වත් ස්ථිරවම කියන්න බෑ. නියත වශයෙන්ම කියන්නේ ස්ථිරවම වෙන දේ. සෝතාපන්න වුන අය නියත වශයෙන්ම සතර අපායේ යන්නේ නෑ. සකෘදාගාමී වුන අය සතර අපායෙන් නිදහස්. අනාගාමී අය සතර අපායෙන් නිදහස්. රහතන් වහන්සේලා සියලු උප්පත්ති වලින් නිදහස්.

ඒ නිසා අපිට අපේ ජීවිතේ සම්බන්ධයෙන් කයිවාරු ගහන එක පලක් නෑ. මම නම් පින් කරගත්තා, මම නම් හොඳ ලෝකෙක යන්නේ කියලා අපි ඒවා ඔක්කොම නිකං හිතින් මවා ගන්න දේවල්. අපි හිතින් මවා ගන්න දේවල් ගොඩාක් අපි සාක්ෂාත් කරලා තියෙනවද? සිතුවිලි මාත්‍රයෙන් ඉවර වෙලා තියෙනවද? ගොඩාක් අපි හිතින් මවා ගන්න දේවල්, සිතුවිලි මාත්‍රයෙන් ඉවර වෙලා යනවා. සමහරු ආසයි ලොකු රස්සාවකට හැබැයි හිතපු රස්සාවට නෙමෙයි ගියේ. සමහරු පදිංචි වෙන්න හිතාගෙන හිටියේ වෙන පලාතක හැබැයි පදිංචි වුනේ වෙන දිහාවක. බදින්න යාලුවුනේ වෙන කෙල්ලෙක් එක්ක බදින්න වුනේ වෙන කෙල්ලක්. එහෙම වෙන්න පුලුවන්. බලාපොරොත්තු වුනේ පුතෙක් ලැබෙයි කියලා හැබැයි ලැබුනේ දුවෙක්. එහෙම වෙන්න පුලුවන්. එතකොට අපි හිතාගෙන ඉන්න විදියට මේ පේන ලෝකේ දේවල් අපිට ඕන විදියට වුනේ නෑ. එතකොට අපිට පිටස්තර සාක්ෂි හොයන්න ඕනේ නෑ. මේ ජීවිතේ අපි හිතාගෙන ඉන්න විදියට ඔක්කෝම වුනා නම්, හිතාගෙන හිටපු විදියට හිතපු කෙනත් බැන්ඳා නම්, හිතාගෙන හිටපු ඉඩමත් හම්බ වෙලා, හිතාගෙන හිටපු ගේත් හදලා, හිතාගෙන හිටපු වාහනෙත් හම්බ වෙලා, හිතාගෙන හිටපු ජාතියේ ළමයි ලැබිලා මේ ඔක්කෝම වුනා නම් හිතාගෙන හිටපු විදියට එහෙනම් මරණින් මත්තෙත් අපි හිතා ගන්න එකත් ඒ විදියට සිද්ධ වෙන්න ඕන. මේ ජීවිතේ අපි හිතාගෙන ඉන්න රටාවෙන් නොවෙයි නම් වෙන්නේ එහෙනම් මරණින් මත්තේ අපි හීනෙකෙන් වත් හිතපු නැති තැනකට අපේ උප්පත්තිය සිද්ධ වෙන්න පුලුවන්.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

සේඛ බල ඇතිකර ගනිමු | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 06

 

Youtube link

 

Leave A Comment