2017 පොසොන් පොහෝ දින ධර්ම දේශණය 2017-07-01T12:02:59+00:00

Project Description

තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව | 2017 පොසොන් පොහෝ දින ධර්ම දේශණය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

මිහිඳු මහ රහතන් වහන්සේ අපිට ධර්මය ලබා දීලා, අපේ මුතුන් මිත්තන්ගේ පෙර පරම්පරාවේ රහත් පරපුරක් බිහි කරලා, බොහෝ දෙනෙකුට සතර අපායේ දොරටු වහලා, දෙව්ලොව බඹ ලොව මාර්ගය පෙන්නලා, චතුරාර්ය සත්‍යය අවබෝධයට මාර්ගය පෙන්වපු ඒ මිහිඳු රහතන් වහන්සේට අපේ ණයගැතිබව ලේසියෙන් ගෙවලා අවසන් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි පිහිට ලබාගන්නවා නම් යමි කිසි වෘක්ෂයකින් ඒ ගසටත් අපි ණයගැතියි. පිහිට ලබා ගන්නවා නම් අපි යම් කිසි ජල උල්පතකින් ඒ ජල උල්පතටත් අපි ණයගැතියි. පිහිට ලබාගන්න ගසින් පිහිට ලබාගෙන යද්දි අතු බිඳ ගෙන යතොත්, පිහිට ලබාගෙන යම් උල්පතකින් එතනින් යද්දි උල්පත වසාගෙන යතොත් ඒ කෙනා අසත්පුරුෂයි. ඉතින් ඒ නිසා අදටත් අපි පිහිට ලබාගන්නේ, මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා ඒ ලබා දීපු ධර්ම දායාදයයි. තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව

ඉතින් ඒ ධර්ම දායාදය ලැබූදා පටන් අපේ ඉස්සර මුතුන් මිත්තෝ තුනුරුවනට ජීවිතය පූජා කරගෙන, කුසල් දහම් වඩාගෙන, දානාදී පින්කම් කරගෙන, සංසාරේ සතර අපායෙන් අත්මිදෙන විදියට වැඩ කලා. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ කාළේ සසරෙන් එතෙර වුනා. අපි අහලා තියෙනවා එක කාලයක් තිබ්බා කියනවා අනුරාධපුරේ මිනිස්සුන්ට වී වෙලාගන්ටත් බෑ කියනවා. ඒ තරම්ම රහතන් වහන්සේලා ආකාසයෙන්ම වඩින යුගයක් තිබ්බා කියනවා. ඊලගට ඒ කාළේ ගෙවල් දොරවල් වල වී කොටද්දි පවා අනිත්‍ය ගැන කියවෙන කවි කිය කියා තමයි අම්මලා වී කොටලා තියෙන්නේ. මෝල් ගහෙන් පහර කන වී ඇටේ ඒ පොතු ගැලවිලා යනවා වගේ ඉපදෙන මනුෂ්‍යයා ජරා මරණයෙන් පහර කනවා කියලයි ඒ කවි වල තිබුනේ.

ඒවායේ අර්ථ මෙනෙහි කරන්න ඒ කාලේ මිනිසුන්ට හැකියාව තිබ්බා. කාලයක් යනකොට අර්ථ මෙනෙහි කරන හැකියාව නැතිව යනවා මිනිස්සුන්ගේ. මේ ධර්මය අවබෝධ කරන කොටස් තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මේ ධර්මය අවබෝධ කරන ප්‍රඥාවෙන් හොදටම මේරු කොටසට කියන්නේ උග්ඝටිතඤ්ඤෝ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙන කොටම අර්ථ අවබෝධ වෙලා නිකෙලෙස් වෙන අය. ඒ වගේ පින මෝරපු අය හිටියා. ඒ වගේම තව කොටසක් ඉන්නවා ප්‍රඥාව මෝරපු. ඒ පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශණා කරනවා විස්තර වශයෙන්. විස්තර වශයෙන් දහම් දෙසාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් ධර්මය වැටහෙන්න ගන්නවා. ඒ දහම් පදයටම හිත එකග වෙලා නීවරණ යටපත් වෙලා මගඵල ලබනවා. ඒ පිරිසට කියනවා විපංචිතඤ්ඤෝ කියලා. තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

Leave A Comment