Sitha Sanasana Ama Daham 2017-01-26T13:17:45+00:00

සිත සනසන අමා දහම් | Sitha Sanasana Ama Dhaham

ප්‍රථම ධර්ම සංගායනාවේදී නවාංග ශාස්තෘ ශාසනනය වන සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතමධම්ම, වේදල්ල යන උතුම් ධර්මය රහතන් වහන්සේලා අතින් ධර්ම විනය වශයෙන් සංගායනා විය. එහිදී තනි දහම් කරුණු විස්තර වන කොටස ඒකක නිපාත වශයෙන්ද, දහම් කරුණු දෙක බැගින් විස්තර වන කොටස දුක නිපාතය වශයෙන්ද, දහම් කරුණු තුන බැගින් විස්තර වන කොටස තික නිපාතය වශයෙන්ද ආදී කොට දහම් කරුණු එකොළහ දක්වා සමන්විත දහම් දෙසුම් එක්කොට එය අංගුත්තර නිකාය වශයෙන් නම් කරන ලද්දේය. එය අනුරුද්ධ මහරහතන් වහන්සේට, තම ශිෂ්‍යානුශිෂය පරම්පරාවෙන් කට පාඩමින් දාරගෙන ඒමට භාර විය. එම නිසා පසුකාලයේ භාණක පරම්පාරාවක් බිහිවිය. දීඝ නිකාය ප්‍රගුණ කරන සඟ පරපුර දීඝභාණක පරපුර විය. මජ්ඣිම නිකාය ප්‍රගුණ කරන සඟ පිරිස මජ්ඣිමභාණක විය. සංයුත්ත නිකාය ප්‍රගුණ කරන සඟ පිරිස සංයුත්තභාණක විය. මේ අයුරින් අංගුත්තර නිකාය ප්‍රගුණ කළ සඟ පිරිස අංගුත්තරභාණක විය.

නිපාත එකොළොසකින් යුත් සමස්ත අංගුත්තර නිකායෙහි සූත්‍ර දේශනා නවදහස් පන්සිය පනස් හතක් ඇතුලත්ව තිබේ. මෙම අංගුත්තර නිකාය පළමු කොටසේ  නිපාත තුනක් තිබේ. එනම් ඒකක නිපාතය, දුක නිපාතය හා තික නිපාතයයි. ඒකක නිපාතයෙහි තනි තනි දහම් කරුණු ඉතා රසවත්ව ඉදිරිපත් කොට තිබේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ, සිතෙහි ඇති ස්වභාවය, පංච නීවරණ, දමනය නොකළ සිතෙහි ස්වභාවය, දමනය කළ සිතෙහි ස්වභාවය, ධර්ම මාර්ගයට උපකාර වන ගුණධර්ම, කළණ මිතුරන්ගේ වටිනාකම, අප්‍රමාදය ආදී මහානීය දහම් කරුණු වලින් ඒකක නිපාතය අතිශයින් ම වර්ණවත් වී ඇත. ඒකක නිපාතයේ ඇති විශේෂ කරුණක් නම් අග තනතුරු ලාභී සිව්වණක් ශ්‍රාවක පිරිස ගැන ද මෙහි සඳහන්ව තිබීමයි.

දුක නිපාතයෙහි සඳහන් වන්නේ කරුණු දෙක බැගින් දේශිත ධර්මයයි. එහිලා අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ජීවිතාවබෝධයට උපකාර වන විශ්මිත ප්‍රඥාව අප වෙත ලබාදෙන අයුරු පුදුම සහගතය. ශාසනය දියුණු වීමට මෙන්ම පිරිහීමට හේතුවන කරුණු ද, පුද්ගල ස්වභාවයන් ද, කෙලෙසුන්ගේ ලාමක බව ද, ගුණධර්මයන්ගේ ශ්‍රේෂ්ඨත්වය ද, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාරණ අයුරු ඉතා සොඳරුය.

දහම් කරුණු තුන බැගින් ඇතුළත් බුද්ධ දේශනා ඔබට මෙහි තික නිපාතයෙහිලා කියවන්නට වාසනාව උදාවනු ඇත. ජීවිතය පිළිබදව පුදුමාකර වැටහීමක් ලබාගැනීමට ඇවැසි වන පරම දුර්ලභ ප්‍රඥාව දියුණු කිරීම පිළිබඳව මෙම දේශනාවල ඇතුලත්ව පවතී.

පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ