පරිවීමංසන සූත්‍රය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2017-09-29T16:03:41+00:00

Project Description

පරිවීමංසන සූත්‍රය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මෙම දේශනය තුළ සසර දුකින් මිදීමට කැමති ශ්‍රාවකයා විසින් මනාකොට දුක් ගෙවී යන ආකාරයට නුවණින් විමසන්නේ කෙසේද යන කරුණ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කර දෙයි.

 

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි හැමෝම මේ සංසාරේ සැරිසරා යන අතරවාරේ කලාතුරකින් ලැබෙන මනුස්ස ආත්මේ ලබා ගෙන ඉන්න අය. එතකොට අපිට මේ මනුස්ස ජීවිතේ ලැබුනේ සංසාරේ සැරිසරාගෙන යන අතරවාරේ ලැබිච්ච එකක්. මේ මනුස්ස ජීවිතේ ලැබුණා කියලා අපිට ඒකේ ලෝකේ ලැබෙන්නේ නෑ අපි මේක හරියට තේරුම් ගත්තේ නැත්නම්. මනුස්ස ජීවිතේ ලැබුණ පමණින් අපිට ඔක්කෝම හරියන්නේ නෑ. ඒ කියන්නේ මේ ජීවිතේ මනුස්සයෙක් වෙලා ඊළග ආත්මේ ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා, ඊලග ආත්මෙත් මනුස්ස ලෝකේ ගිහිල්ලා එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ ගිහිල්ලා සතර අපායේ නොවැටී යන ගමනක් නම් අපි ඔය වගක් නැතිව උන්නට කමක් නෑ. මේ යන සංසාර ගමනේ යන අපට කියන්නේ අපි මාර්ග ඵල ලැබුනේ නැති අය හැටියට. එතකොට මේ සංසාර ගමනට කියන්නේ අනියත සත්වයෝ කියලා. අනියත කියලා කියන්නේ ඒකාන්ත ගති නෙමෙයි අපට තියෙන්නේ. ඊලග ආත්මේ මනුස්සයෙන් වෙයිද දන්නෙත් නෑ. ඊලග ආත්මේ පෙර සංසාරේ කුමක් හෝ කර්මයක් මතු වෙලා, එක්කො මේ ආත්මේ කරපු දෙයක් මතුවෙලා නිරයේ යාවිද දන්නේ නෑ. එහෙම නැත්නම් අපි තිරිසන් අපායේ උපදීවිද දන්නේ නෑ. ප්‍රේත ලෝකේ උපදියිද දන්නේ නෑ. ඒ වගේ අපට අපේ ඊලග ආත්මේ ස්ථිරවම කියන්න බැරි අයනම් ඒ අයට කියන්නේ මොන ගති කියලද අනියත කියලා. නියත නෑ. ස්ථිර නෑ කියන එකයි.

එතකොට අපිට තියෙන්නේ අස්ථිරව වූ එකක්. ස්ථිරව බවට පත්වෙනවා කීප දෙනෙකුට. අපි ගත්තොත් මේ ජීවිතේ කෙනෙක් සෝවාන් වුනොත් එයාට තියෙන්නේ නියත ගතියක්. මොකක්ද ඒ? සතර අපායට යන්නේම නෑ. එයා උපදින්නේ සුගතියේම යි. නියත ගතියක් ඒක. පංච ආනන්තරීය කර්ම වෙනවා කෙනෙක්ගේ අතින්. එයාට තියෙන්නෙත් නියත ගති. මොකක්ද ඒ? ඒ තමයි අනිවාර්යෙන්ම ඊලග ආත්මේ නිරයේ  යනවා. මේ ආත්මේ අපිට මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හය ලැබුනේ පෙර කර්ම විපාකයකින්. ඒ කිව්වේ මීට කලින් ආත්මයක් කර්ම විපාකයකින් තමයි මේ ආත්මේ අපිට තියෙන ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හය ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපි වටා ඉන්න අය පෙර කර්මානුරූපිව ගොඩාක් සම්බන්ධ වෙන අය. ඒ කිව්වේ මේ ආත්මේ කෙනෙක් බිරිඳ වෙලා ඉන්නවා නම් කලින් ආත්මෙත් බිරින්දෑ වෙලා හිටපු අය. මේ ආත්මේ ස්වාමීයා වෙලා ඉන්නවා නම් කලින් ආත්මෙත් බොහෝ විට ස්වාමීයා වෙච්ච අය. එහෙම නැත්නම් කලින් ආත්මේ තමන්ට හතුරුකම් කරපු අය වෙන්න පුලුවන්. එතකොට දරුවෝ වෙලා උපදිනවා. ගෝලයෝ වෙලා එනවා. යාළුවෝ වෙලා එනවා. එතකොට මේ ඔක්කෝම පෙර කර්මානූරූපීව එන ඒවා අපිට මේ ආත්මේ සෑහෙන්න තියෙනවා.

පරිවීමංසන සූත්‍රය | පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave A Comment